2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 401,787 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ගත වූ කාලය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12 වන දින සිදුව තිබේ. එදින සංචාරකයින් 12,731ක් මෙරටට පැමිණ ඇත.
සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 70,880 දෙනෙකු ලෙස වාර්තා වී තිබේ.
එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 44,053 දෙනෙකු, රුසියානු ජාතිකයින් 36,949 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 28,332 දෙනෙකු සහ චීන ජාතිකයින් 22,309 දෙනෙකු ද ඒ අතර වෙයි.
ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ පමණක් විදෙස් සංචාරකයින් 124,460 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම වසර සඳහා රු. බිලියන 6ක ,පමණ ප්‍රමාණයක් වෙන් කර තිබෙන අතර වසර අවසානය වන විට සංචාරක පැමිණීම මිලියන තුනේ ඉලක්කය ජයගැනීම අපේක්ෂාව බව සංචාරක නියෝජ්‍ය අමාත්‍යය මහාචාර්ය රුවන් රණසිංහ සඳහන් කරයි.





