ජංගම දුරකථනයක් අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාව වෙත දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද දුරකථනයක් හරහා අවභාවිතාවක් සිදුවිය හැකි හෙයින් පළමු පියවර ලෙස අදාළ සිම්පත අක්‍රීය කරන ලෙස පොලීසිය උපදෙස් දෙයි.
එලෙස අක්‍රීය කරන සිම්පත හරහා අදාළ ජංගම දුරකථනය නැවත සොයා ගැනීමද පහසු කරන බවයි පොලීසිය පවසන්නේ.
ජංගම දුරකථනය අස්ථානගත වීමකදී පොලීසියට පැමිණිල්ලක් සිදුකරන විට එහි IMEI අංකය පැමිණිල්ලේ සඳහන් කරන ලෙසත් දැනුම් දෙන අතර මෘදුකාංගයක් හරහා නැති වූ ජංගම දුරකථන සොයා ගැනීමේ ක්‍රමවේදයක්ද මේ වන විට හදුන්වා දී තිබේ.
ඒ අනුව ineed.police.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් එම පහසුකම ලබා ගත හැකිය.
මෙහිදී තමන්ට හිමි නැති දේපලක් හමු වූ විට කඩිනමින් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියෙකුට එම දේපළ භාරදී සහතිකයක් හෝ සටහනක් ලබාගැනීම කළ හැකි අතර පැමිණිල්ලක් ආශ්‍රයෙන් ද එම දැනුම් දීම කළ හැකිය.
තමාට අයත් නොවන දේපලක් තමා සන්තකයේ තබා ගැනීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව සාපරාධී සාවද්‍ය පරිහරණයකි. එය අපරාධමය වරදක් ලෙස දක්වා ඇති හෙයින් එවැනි වරදකදී වසර 02ක සිරදඬුවමකට යටත් වීමේ හැකියාව පවතියි.
අන්සතු ජංගම දුරකතනයක් හෝ වෙනත් දේපලක් මිලදී ගැනීමකදී සොර බඩු ළඟ තබාගැනීමේ වරදට හසු වුවහොත් වසර 03ක සිර දඬුවමකට ද ලක්විය හැකිය.
එහෙයින් මෙම නීතිමය තත්ත්වය පිළිබඳවද මහජනතාව දැනුවත් වන ලෙස පොලීසිය දැනුම් දෙයි.
2024 වසරේදී අස්ථානගත වූ ජංගම දුරකථන 2796ක් සොයා ගෙන හිමිකරුවන් වෙත භාර දීමට පොලීසිය කටයුතු කර ඇති අතර එම වසරේදී සොරකම් කරන ලද දුරකථන 928ක් සොය ගෙන අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර ඇත. 2025 දී ද අස්ථානගත වූ ජංගම දුරකථන 2355ක් නැවත සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ. මෙහිදී සොරකම් කරන ලද දුරකථන 1019ක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය කටයුතු කර ඇත.





