අනුදි ගුණසේකර මේ දිනවල පුවත් මවන්නියකි. ඇය දෙස බොහෝ නෙත් යොමුව ඇත්තේ, ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන, 2025 ලෝක රූ රැජිණ කිරුළ සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනය ලෙස මෙන්ම එහි ඇය යම් සුවිශේෂී බවක් සනිටුහන් කරන්නියක්ද වන බැවිනි.

රූ රැජිණ ඉතිහාසය
ලෝ රූ රැජින කිරුළ ඇරඹෙන්නේ 1951 වසරේ එංගලන්තයේදී වන නමුදු 1850 ගණන්වල සිටම යම් යම් නිරූපිකා ඉසව් ලොව තුළ ව්‍යාප්ත වී තිබුණි. ස්වීඩනය නියෝජනය කරමින් පැමිණි කිකී හාකින්සන් (Kiki Haakinsan) පළමු ලෝ රූ රැජින ලෙස ඉතිහාසගත වන්නීය. එමෙන්ම ඒ සඳහා එවකට සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවෙන් මානෙල් ඉලංගකෝන් සහභාගී වූ අතර ඇය ජාත්‍යන්තර රූ රැජිණ තරඟයකට ලංකාවෙන් සහභාගී වූ ප්‍රථම කාන්තාව වන්නීය. එහිදී ඇයට සිව්වන ස්ථානය හිමිවන අතර එය මේ වන තෙක් ලෝ රූ රැජිණ තරඟයකදී ශ්‍රී ලංකාව ලබාගත් උපරිම ජයග්‍රහණය ද වේ.
1968 සිට ලෝ රූ රැජින තරඟ ඉසව්ව ජූලියා මෝර්ලේ ( Julia Morley ) ගේ ප්‍රධානත්වයෙන් ඔපවත් වේ.
2000 වර්ෂයේ දී සිදුවූ ඇගේ ස්වාමිපුරුෂයා එරික් මෝර්ලේ (Eric Morley)ගේ අභාවයෙන් පසු ඇය ලෝ රූ රැජින සංවිධානයේ සභාපතිනිය වන්නීය.
ලොව නන් රටවල් නියෝජනය කරමින් පැමිණෙන සුරූපිනියන් අතරින් ජයග්‍රාහිකාවට. ඩොලර් 100,000 ක පමණ මුදල් ත්‍යාගයක් හිමිවන බව පැවසේ. ඇතැම් විට එය එපමණ මුදලක් නොවුණද සැලකිය යුතු තරම් විශාල බව පිළිගත යුතුය. මූල්‍යමය ප්‍රතිලාභය ඉක්මවනසුළු අනෙක් තිළිණය නම් ජයග්‍රාහිකාවට ඉන් විවරවන අසීමිත අවස්ථාවන්ය. ඇයට ලෝ රූ රැජිණ සංවිධානයේ ගෞරවාන්විත නියෝජිතවරිය ලෙස විවිධ සංචාර වලද, පුණ්‍ය කටයුතු සඳහා පුද්ගල දැනුවත් කිරීම් ආදියේද නියැළීමට සිදුවේ.
ලෝ රූ රැජින සංදර්ශනයේ තේමා ගීතය වන්නේ “ආශාව බෙදාගන්න- සිහිනය දල්වන්න.”යන්නයි.
(Share the passion – Light the dream)
1972 වර්ෂයේ සිට, ජයග්‍රාහිකාවට පළඳවන ඔටුන්න නිල් පැහැයෙන් දිදුලන අතර එය BWAP ලෙස හැඳින්වෙන “කර්තව්‍යයක් සහිත රූමතිය” ( Beauty With A Purpose) සංකේතවත් කරයි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ බාහිර සුන්දරත්වය නිර්ණය කරන යම් යම් මිනුම් දඬු අතරට හුදු රූ සෝභාව අහිබවන, ඇගේ අභ්‍යන්තරික චරිත ලක්ෂණ ලෝ රූ රැජින මෙහෙයුමේ වැදගත්ම සාධකය වෙයි.
එය ඇය නිරත වන, සමාජය තුළ දැනෙන වෙනසක් බවට පත්වන යම් ව්‍යාපෘතියක්ද විය හැකිය. එය තථ්‍ය මෙන්ම, ධනාත්මක ආකල්ප ජනිත කරවන සුළු ප්රබෝධකාරකයක් විය යුතු බව පිළිගැනේ. අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, කාන්තා අයිතිවාසිකම් හා පරිසරය යනාදී ක්ෂේත්‍ර ඉන් ප්‍රධාන වේ.
අපේ අනුදි , අපේ සිත් ගන්නේ, “කර්තව්‍යයක් සහිත රූමතිය” යන නිර්ණායකය හා ඇය මැනවින් සබැඳෙන බැවිනි. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යන පිළිබඳ උපාධියක්ද ලබන අනුදි ගුණසේකර, 2017 වසරේ ඉන්දියානු සුරූපිනිය වූ මනුෂි ( Manushi Chillar) ලෝ රූ රැජින කිරුළ පළඳින අවස්ථාව, ඇගේ ලෝ රූ රැජින සිහිනය උත්පාදනය කළ බැව් පවසන්නීය.
අනුදිගේ ගමන් මග
මෙවර හැත්තෑ දෙවැනි ලෝ රූ රැජින ඉසව්ව වෙත යන ගමනේදී ඇගේ සැලසුම් සහගත බව අනුදි, අනගි තරුණියක් බවට ඔසවාලයි.
ඇය අරඹන “සහේළි” පදනම ඉතා සුවිශේෂී ව්‍යාපෘතියක් වෙත සිය ජවය යොදවයි. එය “ඔසප් දරිද්‍රතාවය” (period poverty)යන නමින් හැඳින්වෙන, කාන්තාවන්ගේ හා වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්ගේ මාසික ආර්තවයේ දී උචිත සෞඛ්යාරක්ෂිත පැළඳුම්වල හිඟකම දුරැලීම මෙන්ම කාන්තාවන් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මෙහෙවරයි. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ඔසප් දරිද්‍රතාවය ගෝලීය ගැටලුවකි.

ගැටලුවේ ප්‍රාමාණික බව සඳහන් කළහොත් එය වැඩිවියට පත් දැරිවියන් තිදෙනෙකුගෙන් එක් අයකු සිය ඔසප් දිනවල පාසල් නොගොස් ගෙදර රඳවන තරමේ බැරෑරුම් කරුණකි. අපේ අනුදි පවසන්නේ ඇගේ මූලික උපාධි නිබන්ධනයේ ගවේෂණයන් අතරතුර ඇයට ලංකාවේ මේ තත්ත්වය එළිදරව් වූ බවකි. දත්ත ඇසුරෙන් නම් එය 50% ක් පමණ වේ!
සාමාන්‍ය ජීව විද්‍යාත්මක කරුණක් වන මාසික ආර්තවය ලංකාව වැනි රටවල ඇතැම් විට තහංචි ගත ( taboo) මාතෘකාවකි. දැරිවියකගේ ප්‍රථම ඔසප් වීම උත්සවාකාරයෙන් සමරන රටක “ඇය” පිළිබඳ පසු විපරම කෙතරම් දුරට සංවේදී සහගතද යන්න ඇත්තෙන්ම වෙනම කතා බහට ගත යුතු මාතෘකාවකි. සහේළි පදනම සනීපාරක්ෂක තුවා ලබාදීම මෙන්ම අපේ දියණියන් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ කාර්යයේ ද යෙදී සිටී.
සෑම වසරකම මැයි 28 වන දින “ආර්තව සෞඛ්යාරක්ෂිත දිනය” ලෙස නම් කර ඇත. කිසිසේත්ම පිරිසුදු යැයි කිව නොහැකි යම් රෙදි කඩකින්, සිය මාසික යාන්ත්‍රණයේ දින කිහිපය අසීරුවෙන් ගෙවා ගැනීමට, ගැහැණු දරුවන්ට හා කාන්තාවන්ට සිදුවන්නේ සනීපාරක්ෂක පැළඳුම්වල මිල, ඔරොත්තු නොදෙන බැවිනි. එමගින් සෞඛ්‍ය සම්පන්න විය යුතු අපේ කාන්තා පරපුර, යම් යම් සංකූලතා වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩිවේ. එබඳු කායික ආබාධ, මානසික ආබාධවලට මුල පුරවමින් එම ගැටලුව වඩාත් සංකීර්ණ කරවයි.
ලංකාවේ කාන්තා ජනගහනයෙන් හරි අඩක් පමණ මුහුණ දෙන ඔසප් දරිද්‍රතාවයට විසඳුම් සෙවීමට, අනුදි ගුණසේකරගේ සහේළි පදනමේ ක්‍රියාකාරීත්වය පමණක් ප්‍රමාණවත් නොවූවද, ඇගේ ඒ පියවර කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකිය. අනුදි ගුණසේකර බුද්ධිමත් රූමතියක් මෙන්ම සැබෑ ගැහැනියක ලෙස, සිය මෙහෙවර වඩාත් සුපසන් ලෙස තමා වෙසෙන සමාජයේ එක් අඳුරු පැතිකඩක් ආලෝකමත් කරන්නට යොදවන්නීය; සාමාජීය වගකීමකට දායක වන්නීය.
ඇය ලෝ රූ රැජින කිරුළ හිමි කර ගත්තද, නොගත්ත ද ඇගේ දයාව, දැනටමත් ඇය දහසක් මිණෙන් දිදුලන මානුෂීය කිරුළක සැබෑ හිමිකාරියක් බව පෙන්වයි.

අපේ අනුදිට අපේ සුභ පැතුම්..!