තම රටට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නම් මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට අවස්ථාව ලබානොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව අවධාරණය කර තිබේ.
මැදපෙරදිග කලාපය ආශ්‍රිතව පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ, ඉරානය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය හමුදාව මේ බව පවසා ඇත.
ඒ අනුව තවදුරටත් තම රටට අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් ලීටරයක් හෝ අපනයනය කිරීමට අවස්ථාව හිමිනොවනු ඇති බව ඔවුන් කියා සිටියි.
මේ අතර ඉරානයට එරෙහි ඇමරිකා සහ ඊශ්‍රායල් යුද්ධය පළමු හෙවත් A සැලැස්මේ සිටම අසාර්ථක බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්රච් පවසයි.
“සැලැස්ම A අසාර්ථක වූ අතර, දැන් ඔවුන් වෙනත් සැලසුම් උත්සාහ කරමින් සිටින නමුත් ඒ සියල්ල අසාර්ථක වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
“ඔවුන් අනුගමනය කරන කිසිදු සාධාරණ ඉලක්කයක් මට නොපෙනේ. ආරම්භයේදීම ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඔවුන් අසමත් වූ අතර, දැන්, දින 10 කට පසු, ඔවුන් ඉලක්ක රහිත යැයි මම සිතමි.” යනුවෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියි.
ඉරාන විදේශ අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කරමින් පවසන්නේ සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් කලාපයේ පවතින එක්සත් ජනපද වත්කම් වෙත පෙරළා පහර දෙන බවයි.





