/ Dec 29, 2025

කොළඹ ගැන දැඩි තීරණයක්!

කොළඹ දිස්ත්‍රික්කය ගංවතුර අවදානමට ලක් වී ඇත්තේ කිසිදු සැලසුමක් හෝ නීතිරීති පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන ලද ඉදිකිරීම් හේතුවෙන් වන අතර දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙලන ජනාවාස ඉදිකිරීමට ඉදිරියේදී කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන ජීවිතයේ කොටසක් බවට පත්වීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බවයි ඇය පැවසුවේ.

එහෙයින් සියලු ආයතන හා එක් වී දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කර ඒ අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව අග්‍රමාත්‍යවරිය සඳහන් කළාය.

අතිශය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අනුව ගත් තීන්දු තීරණ නිසා දිස්ත්‍රික්කය සහ ජනතාව මෙම ගංවතුර අවදානමට ලක් වී තිබෙන බව ඇය කියා සිටියාය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙලන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

ඇය මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය දිනවල ඇති වූ කුණාටු තත්ත්වයෙන් විශාල වශයෙන් ජීවිත හා දේපළ හානි සිදු වූ දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයට ඇති වූ හානිය අඩු වුවද දිස්තික්කය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට, අදාළ ආයතන සමඟ එක්ව විශේෂ මැදිහත්වීමක් සිදුකරන බව ඇය එහිදී තවදුරටත් ප්‍රකාශ කළාය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ අවධානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට යම් විසඳුමක් ලබා දීම පිළිබඳව මේ වනවිටත් සාකච්ඡා කරමින් තිබෙන බවත් ඇය එහිදී සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top