/ Jan 24, 2026

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම: කරු අනුරට ලියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධෙන් හිටපු කථානායක කරු ජයසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිත පොහැදිලි කිරීමක් යොමු කර තිබේ.

මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම හේතුවෙන් වංචනිකයින්, දුෂිතයින් නොවන හිටපු මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති අතර ඒ පිළිබඳව සලකා බලන ලෙස එමඟින් ඉල්ලා තිබේ.

ආණ්ඩුව ගත් මෙම තීරණයට මහජන වරමක් ලැබී ඇති නමුත් ජනාධිපතිවරයාට මේ මොහොතේ ඒ ගැන සානුකම්පිතව බැලිය හැකි බවයි හිටපු කථානායකවරයා පවසන්නේ.

ඇතැමුන් තමන්ගේ දේපොළ, රැකියා අහිමි කරගනිමින් දේශපාලනයේ නිරත වූ අතර එවැනි අය යැපුණේ මෙම විශ්‍රාම වැටුපෙන් බවද කරු ජයසූරිය මහතා සිය පිලිය හරහා ජනාධිපතිවරයා වෙත දන්වා සිටියි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි

ගරු ජනාධිපති,
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි

දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැගීමට හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම පිළිබඳව කණගාටු වෙමි. එහෙත් හිටපු මැති ඇමතිවරුන් හා ඔවුන් අතරින් ඇතැමෙකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් මෙම ඉල්ලීම කරනුයේ දැඩි මානුෂිය හැඟීමෙනි.

හිටපු මැති ඇමතිවරුන් කෙරෙහි දැඩි මහජන අප්‍රසාදයක් පසුගිය වකවානුව තුළ ගොඩනැගී තිබිණි. සෑම මන්ත්‍රීවරයෙකුම වංචාකාරයකු, දූෂිතයෙකු ලෙස හංවඩු ගැසී තිබිණි. සමස්තයක් ලෙස සලකා බලන කල්හි එය සාධාරණ නොවන බව අපගේ හැඟීමයි. ඉහත සඳහන් හිටපු මහජන නියෝජිතයින් අතර වමේ ගෞරවනීය දේශපාලන නායකයින් සහ 30 කට ආසන්න හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලනයෙන් තම දේපළ නැති කරගත් අවංක මහජන නියෝජිතයින් රාශියක් ද සිටිති.

එමෙන්ම තරුණ වියේ දේශපාලනයට ඇතුළු වී මැතිවරණවලට ඉදිරිපත්වීම සඳහා රාජ්‍ය සේවයෙන් අස්වීමේ හේතුවෙන් අද වන විට විශ්‍රාම වැටුප් නොලබන හිටපු රාජ්‍ය සේවකයන් පිරිසක් ද ඒ අතර වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කළහොත් එම මන්ත්‍රීවරුන්ට ද එමගින් බලවත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ ද සිටින එවැනි මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු අනාගතයේදී එම තත්වයම උරුම වනු ඇත.

එමෙන්ම එම වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වත්මන් රජයට මහජන වරමක් ද ලැබී ඇති බව ද අපි පිළිගනිමු. එහෙත් රටේ ප්‍රධාන පුරවැසියා වන රාජ්‍ය නායකයා ලෙස එම කරුණ පිළිබඳව සානුකම්පිකව සලකා බැලිය හැකි බව අපගේ විශ්වාසයයි. එහිදී පහත සඳහන් කරුණු කෙරෙහිද ඔබතුමාගේ අවධානය යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

අප නිදහස ලබන විට ඉඩම් හිමි, උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා විය. එහෙත් 1956 පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයට ඉඩ ලැබිණි. ඒ මගින් විශාල සමාජ විපර්යාසයක් ඇති විය.

එම තත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට ,ව්‍යාපාරිකයන්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයින්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වනු ඇත. අවංක සමාජ සේවකයකයන්ට ද මේ හේතුවෙන් දේශපාලන කේෂ්ත්‍රයට ඉදිරිපත් විය නොහැකි වනු ඇත.

සිය කාලය හා ශ්‍රමය යොමු කරන මහජන නියෝජිතයෙකුට සැනසීමේ ජීවත්වීමට යම්කිසි පහසුකමක් සැලකීම ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන පාර්ලිමේන්තු සම්ප්‍රදායකි . ඊට අදාළ තොරතුරු අප සතුව ඇත. එමෙන්ම මහජන නියෝජිතයන් ලෙස පෙනීසිටින දූෂිතයන් වෙනුවෙන් අප ඉදිරිපත් නොවෙමු. එවැනි පුද්ගලයින් ඇත්තේ සුළු පිරිසකි. එමෙන්ම මෙම කරුණ අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිතුමා පත් කළ ඉහළ පෙළේ කමිටු වාර්තාව මගින්ද මෙම නීති අතීතයට බලපෑම සුදුසු නොවන බව වාර්තා කර ඇති බව ප්‍රකාශ වී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය පිහිට වූයේ පවත්නා රජයටත් ඉදිරියේදී බලයට පත්වන රජයන්ටත් පැරණි මන්ත්‍රීවරුන්ගේ දැනුම හා අත්දැකීම් ලබාදීම වෙනුවෙනි. 2021/2022 අවිනිශ්චිත දේශපාලන සමයේ දී සංගමයේ බිහිවීම සිදුවිය. ලෝකයේ බොහෝ රටවල මෙවැනි සංගම් පවතින අතර පවතින රජයන් සමඟ මෙම සංගම් ඉතා සුහදව කටයුතු කරයි. එවැනි සංගම් නැත්තේ රටවල් කිහිපයක පමණි.

ඒ අනුව 2023 වර්ෂයේ දී අප සංඝමය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර හිටපු කතානායකවරයා අනුශාසක ලෙස පත්කරන ලදී. එමෙන්ම මේ සඳහා සහාය වීමට නිලධාරිවරයකුගේ සේවයද ලබාදීම සිදු විය. ඒ අනුව වගකිව යුතු සංවිධානයක් ලෙස අප ඔබතුමාගේ කාරුණික අවධානයට යොමුකරන්නේ,

යම් හෙයකින් විශ්‍රාම වැටුප ගෙවීම් අත්හිටවුවහොත් ඔවුන් ඉතාමත්ම අසරණ තත්ත්වයකට පවත්වනු ඇත. දකුණු ආසියාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල හිටපු මහජන නියෝජිතයින්ට සම්ප්‍රදායක් වශයෙන් මෙම සහන ලැබේ. එමෙන්ම පවතින රජයන් ඔවුන්ගේ දැනුම අත්දැකීම් ප්‍රයෝජනයට ගනු ලබයි. ජාතික ප්‍රශ්නවල දී මෙම සංකල්පය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

අපත් ඇතුළුව ඉතා සුළු පිරිසක් විශ්‍රාම වැටුප සමාජයීය හා පුණ්‍ය කටයුතු සඳහා යෙදවූවත් අති බහුතරයක් මන්ත්‍රීවරුන් යැපෙන්නේ මෙම මුදලිනි.
එහෙයින් ගරු ජනාධිපතිතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම පනත ක්‍රියාත්මක කිරීමට පෙර සර්වපාක්ෂික නියෝජිත පිරිසක් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කර මානුෂිකව මෙම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමුකර විසඳුමක් ලබා දෙන ලෙසයි.

එමෙන් ම ඉදිරියේ දි නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බව දැනගැනිමට ඇති හෙයින් මෙම කරුණු ද එහිදි අවධානයට ලක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. අප සංගමයේ නව ව්‍යවස්ථාවේ පිටපතක් ද මේ සමඟ එවා ඇත. ඔබතුමාට යොමු කරන මෙම ලිපියේ පිටපත් අදාල මන්ත්‍රිවරුන්ට ද යවා ඇති බව කාරුණිකව සළකන්න.

මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසුරිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top