/ Dec 30, 2025

අගා අද සමු ගනී!

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික – අභාවප්‍රාප්ත අගා ජයසේන සහෝදරයාගේ අවසන් කටයුතු අද (30) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

මිය යන විට 83 වැනි වියේ පසුවූ අගා සහෝදරයා බද්දේගම උපන්නෙකි. යොවුන් වියේදීම වාමාංශික දේශපාලනය සමඟ එක් වූ ඔහු සරසවි අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු ජාතික ශිෂ්‍ය සංගමයට එක් විය. එහි පුරෝගාමී නායකයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුව පූර්ණකාලීන දේශපාලනයට එක් විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එවක දුෂ්කර ම පළාත් වෙත ගොස් සංවිධාන කටයුතුවල නිරත වූ අගා තම දේශපාලන සංවිධාන වෙත දිනාගැනීමටද සමහර නව දේශපාලන ව්‍යාපාර උත්සාහ කරනු ලැබීය.

පසුව සෝවියට් දේශය වෙත ගිය අගා එහි ක්‍රියාත්මක වූ මොස්කව් සමාජ විද්‍යා ඇකඩමියේ අධ්‍යාපනය ලද්දේය. අධ්‍යාපන කටයුතු අවසන් කර මෙරට පැමිණි ඔහු දිගටම කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයේ නිරත විය.

ශිෂ්‍ය සංගමයට සහ තරුණ සංගමයට නායකත්වය දෙමින් ක්‍රියා කළ ඔහු මාක්ස්වාදී සාහිත්‍ය සම්ප්‍රදානයටද කෘති ගණනාවක් සම්පාදනය කළේය. කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය අළලා ඔහු විසින් සම්පාදනය කළ තරුවක අරුණ කෘතිය මෙරට දේශපාලන ඉතිහාසය දෙස යොමු වූ වැදගත් වාමාංශික එළැඹුමකි.

සභාගවාදී දේශපාලනයට පිවිසීමේ දේශපාලන හානිය තක්සේරු කරමින් එහි වරද ස්වයංවිවේචනාත්මකව දුටු අගා කොමියුනිස්ට් පක්ෂයේ ජාතිවාදී සහ ප්‍රතිගාමී දේශාපලන කල්ලි සමග වූ සහයෝගිතා නිර්දය ලෙස විවේචනය කළේ ය.

මෙරට වාමාංශික දේශපාලනයේ එක් යුගයක නියෝජනයක් වූ අගා ජයසේන සහෝදරයාට අපේ ආචාරය මෙසේ පුද කරමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top