/ Feb 05, 2025

“සියලුම මන්ත්‍රීන්ට රජයෙන් වාහනයක් දෙනවා “- අමාත්‍ය විජිත හේරත්

WIJITHA HERATH

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසීය.

නමුත් මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ද කරුණු දක්වමින් ඔහු සඳහන් කර සිටියේ “පර්මිට් දෙන්නේ නෑ. දැන් ඒක නතර කරලා තියෙන්නේ. ඒක පැහැදිලියි.” යනුවෙනි.

“මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම පසුගිය රජයෙන් නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.

කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහනයක් දෙන්නේ නෑ කියලා අපි කවදාවත් කියලත් නෑ. කියන්නෙත් නෑ.”

“පාවිච්චි කරපු වාහන දෙනවා නම් හැමෝටම එක වර්ගයෙන් දෙන්න ඕනේ. එක මට්ටමින් දෙන්නත් ඕනේ. නැත්නම් ආය ප්‍රශ්නයක් මතුවෙනවා. බොහෝම පැහැදිලිව අපි කියපු ප්‍රතිපත්තිය වාහනයක් සම්බන්ධයෙන් වසර 5 සඳහා යම් වාහනයක් ලබාදෙනවා. පාවිච්චි කරන ක්‍රමවේදයට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමා වාහනය පාවිච්චි කරලා වසර 5 අවසානයේ රජයට භාරදීලා යන එක. දෙක වාහනයේ එවකට වටිනාකම රජයට දීලා වාහනය තමන්ට හිමිකර ගන්න එක. ඒකේ වෙනසක් නෑ.” යැයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top