/ Jan 23, 2026

බැසිල්ගේ වම හිරිවැටිලා : නඩුවේ සියලු තොරතුරු මෙන්න!

නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

මෙම නඩුවේ තෙවැනි සහ සිව්වැනි විත්තිකරුවන් වන බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සොයුරිය අයෝමා ගලප්පති අධිකරණයේ පෙනී නොසිටි අතර බැසිල් රාජපක්ෂ විත්තිකරුගේ වෛද්‍ය වාර්තාවක් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම පැවසුවේ සැකකරු අධිකරණය මගහරිමින් සිටිනවාදැයි බරපතළ සැකයක් ඇති වූ බවයි.

ඇය වැඩිදුරටත් මෙසේ පවසා සිටියාය.

“ස්වාමිනි මේ නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රෝහණ රාජපක්ෂ අවසන් වරට අධිකරණයේ පෙනී සිට තිබෙන්නේ 2024 සැප්තැම්බර් 18. ඒ කියන්නේ මොහු වසරකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී සිට නැහැ. 

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පසුගිය නඩුවාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක දැක්වුණා සිය සේවාදායකයා පුටුවකින් වැටිලා ඇතිවුන බෙල්ලේ අමාරුවක් නිසා වෛද්‍යවරුන් විසින් ගුවන් ගමන් නොසුදුසු බවට නිර්දේශ කර තිබුණා කියලා. නමුත් X Ray වාර්තාවල කිසිදු අස්ථි භග්නයක් පෙන්නුම් කෙරුණේ නැහැ. 

එදින සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළා අද දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් සැකකාර බැසිල් රාජපක්ෂ අදත් නැහැ. ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වෙනවා සැකකාර බැසිල් රාජපක්ෂට ” Left Side Sciatica ” හෙවත් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වයක් පවතින බැවින් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා කියලා. 

නමුත් ස්වාමිනි මේ ලේඛන මා අධ්‍යනය කරපුවාම බරපතළ සැකයක් ඇතිවුණා සැකකරු ඇත්තටම අසනීපයෙන් ඉන්නවාද, නැතිනම් අධිකරණය මඟහරිනවා ද කියලා”.

“ස්වාමිනි, මේ වෛද්‍ය වාර්තා නිකුත් කරලා තියෙන්නේ ජොර්ජ් චිඩී’ කියලා පුද්ගලයෙක්. මේ ලේඛනවල රෝග ලක්ෂණ සටහන් කරලා තිබුණාට, ඒවා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා නැහැ. අනික පෙර නඩුවාරයේ වෛද්‍යවරයාගේ වාර්තාවල ලිපි ශීර්ෂය නෙමෙයි, අද ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල තියෙන්නේ. 

ඊළඟට බැසිල් රාජපක්ෂට ඔය කියන ” Left Side Sciatica” එහෙමත් නැතිනම් ශරීරයේ වම්පස හිරිවැටීමේ රෝගි තත්ත්වය තියෙන නිසා මාස 06ක් ගුවන් ගමන් නුසුදුසු බවට වෛද්‍ය නිර්දේශය නිකුත් කරලා තියෙන්නේ 2025 සැප්තැම්බර් 14 වැනිදා. 

වෛද්‍යවරයා එහෙම නිර්දේශ කර තිබියදී ඊට පසු සැප්තැම්බර් 25 වැනිදා, මේ සැකකරු නොවැම්බර් මාසයේ 18 සිට 21 දක්වා කාලය තුළ ගුවන් ගමනකින් මෙරටට පැමිණෙන්න ගුවන් සමාගමකින් ගුවන් ටිකට්පත් වෙන් කරගෙන තියෙනවා. පසු අවස්ථාවක ඔක්තෝබර් මාසයේ යළි එය අවලංගු කරන්නැයි ඉල්ලා තිබෙනවා. 

ඒ වගේම ස්වාමිනි මේ සැකකරුට ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාවය තිබෙනවාදැයි පරික්ෂා කිරීමට ගුවන් සමාගම ඉදිරිපත් කළ පෝරමයේ පැහැදිලිව දැක්වෙනවා මොහුට තවත් පුද්ගලයෙකුගේ සහයෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකියි, ගුවන් යානය තුළ විශේෂ පුටුවක්, ඇදක් හෝ ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නැහැ කියලා”. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ සැකකරුගේ වෛද්‍ය වාර්තා පිළිගත නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී අධිකරණය සැකකරු බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඤවරුන්ට නියෝග කළේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එසේ ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට අවවාද කළේය.

නඩුව ලබන වසරේ මැයි 22 වැනි දා කැඳවීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top