වැලිකඩ පොලිස් භාරයේ සිටිය දී මරණයට පත් වූ සත්සර නිමේෂ්ගේ එම මරණය සම්බන්ධ නඩුව ඊයේ (30) කැඳවනු ලැබී ය.
නීතිඥ සේනක පෙරේරා පැවසුවේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් පැවැත්වූ මරණ පරීක්ෂණ වාර්තාව මේ වන තෙක් අධිකරණය වෙත ඉදිරිපත්ව නැති බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළව සාක්ෂිකරුවන් කැඳවන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අතර නඩු කටයුත්ත අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිය ගිය තරුණයාගේ මව කියා සිටියේ, සිය පුත්‍රයා අත්අඩංගුවට ගත් පසු වධහිංසා සිදු කර ඇති බව සක්සුදක් සේ පැහැදිලි බවයි.
ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරනු ලබන රුවිනි අයේෂා නම් තැනැත්තිය විසින් නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ පළ කරනු ලබන සටහන් නිසා මෙම විමර්ශනයට බරපතළ අගතියක් සිදුවන බවද ඇය එහිදී කියා සිටියා ය. මිය ගිය තරුණයාගේ මව වන තමන් දන්නවාට වඩා තොරතුරු ඇය දන්නා බවත්, ඇයට පොලිසිය විසින් තොරතුරු සපයන බවත් සත්සරගේ මව එහිදී පැවසුවා ය. මෙම තැනැත්තියට පොලිසිය හා සම්බන්ධයක් ඇති බවට සැකකරන බව කියා සිටින මිය ගිය තරුණයාගේ මව මෙම සිදුවීම මුදලට යට කිරීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළා ය.
කෙසේ වෙතත්, සත්සර නිමේෂ්ගේ මරණය සිදුව ඉතා ආසන්න දිනයක මෙම තැනැත්තිය දිගු විස්තරයක් සහිත සටහන් පළ කර තිබේ. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මෙහෙයවමින් සිටින තත්වයකදී තමා සතුව සාක්ෂි ඇතැයි කියමින් මෙම තැනැත්තිය සත්සර නිමේෂ් වෙත මත්ද්‍රව්‍ය භාවිතා කළේ යැ යි චෝදනා එල්ල කර ඇත.
මෙයට පෙර ද පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය ගිය අවස්ථාවල, එම මිය ගිය පුද්ගලයන් සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැ යි ලේබල් ඇලවීම මතින් එම මරණ සාධාරණීකරණය කළ බව ප්‍රකට කරුණකි.
මේ සම්බන්ධව වගකිව යුතු අංශ අවධානය යොමු කළ යුතු ය.