/ Dec 29, 2025

ට්‍රම්ප් ලතින් ඇමරිකානු කලාපයත් යුද්ධයකට ඇද දමන ලකුණු : වෙනිසියුලානු තෙවැනි තෙල් නැවත් හඹා යයි!

ඇමරිකානු එක්සත් ජනපදය වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ රජයට එරෙහිව සිය බලපෑම් සහගත මෙහෙයුම් දැඩි කරමින් සිටින අතරතුර, වෙනිසියුලාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගමන් ගන්නා තවත් තෙල් නැවක් හඹා යමින් සිටින බව ඇමරිකානු නිලධාරියෙක් අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

ඉරිදා දින ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම දියත් වූයේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කරන ලද (blockade) කොටසක් ලෙසයි. පසුගිය සති දෙක තුළ ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් දෙවන යාත්‍රාවෙන් දිනකට පසුවය.

අදාළ නිලධාරියා අල් ජසීරා වෙත පැවසුවේ ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය එම යාත්‍රාව “සක්‍රීයව හඹා යමින්” සිටින බවයි. ලතින් ඇමරිකානු රටක් වන වෙනිසියුලාවේ වැදගත් තෙල් අංශයට වොෂින්ටනය පනවා ඇති සම්බාධක මඟහැරීමට උත්සාහ කරන වෙනිසියුලානු රහසිගත නෞකා සමූහයේ (dark fleet) කොටසක් ලෙස මෙම යාත්‍රාව ඔවුන් හඳුනාගෙන තිබේ. එම යාත්‍රාව “ව්‍යාජ ධජයක්” යටතේ ගමන් කරන බවත් එය “අධිකරණ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්” යටතේ පවතින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

රොයිටර් පුවත් සේවය ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කළේ මෙම ටැංකි නෞකාව සම්බාධකවලට යටත් වූවක් වුවද, මෙතෙක් එය බලහත්කාරයෙන් පරීක්ෂාවට ලක් කර නොමැති බවයි. යාත්‍රාවන් අවහිර කිරීමේ මෙහෙයුම්, අදාළ යාත්‍රාවට සමීපව නාවික යාත්‍රා හෝ ගුවන් යානා පියාසර කිරීම ඇතුළු විවිධ ක්‍රම මගින් සිදු කළ හැකි බව ඔහු පැවසීය. නිලධාරියා මෙම මෙහෙයුම සිදුවන නිශ්චිත ස්ථානය හෝ හඹා යන යාත්‍රාවේ නම හෙළි කළේ නැත.

බ්‍රිතාන්‍යයේ ‘වැන්ගාර්ඩ්’ (Vanguard) සමුද්‍රීය අවදානම් කළමනාකරණ කණ්ඩායම විසින් මෙම යාත්‍රාව Bella 1 ලෙස හඳුනාගෙන ඇත. මෙය ඉතා විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් (VLCC) වන අතර, එය ඉරානය සමඟ සබඳතා පවත්වන බව පවසමින් පසුගිය වසරේදී ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සම්බාධක ලැයිස්තුවට එක් කර තිබුණි. ‘TankerTrackers.com’ වෙබ් අඩවියට අනුව, ඉරිදා වෙනිසියුලාවට ළඟා වන විට ‘Bella 1’ හි තෙල් අඩංගු වී නොතිබුණි.

රොයිටර් පුවත් සේවය වෙනිසියුලානු රජයට අයත් PDVSA තෙල් සමාගමේ අභ්‍යන්තර ලේඛන උපුටා දක්වමින් වාර්තා කළේ, 2021 වසරේදී මෙම යාත්‍රාව වෙනිසියුලානු තෙල් චීනයට ප්‍රවාහනය කිරීමට දායක වූ බවයි. එමෙන්ම මීට පෙර මෙම නෞකාව ඉරාන බොරතෙල් ප්‍රවාහනය කර ඇති බවද වාර්තා වේ.

වෙනිසියුලාව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ලෝකයේ විශාලතම තෙල් සංචිතය අත්පත් කර ගැනීම සඳහා වොෂින්ටනය මදුරෝ රජය පෙරළා දැමීමට උත්සාහ කරන බව අවධාරණය කරයි. ඇමරිකාව සිදු කරන මෙම නෞකා අත්අඩංගුවට ගැනීම් “ජාත්‍යන්තර මුහුදු කොල්ලකෑම්” (international piracy) ලෙස ඔවුහු හෙළා දකිති.

ධවල මන්දිරය ඉරිදා ප්‍රකාශ කළේ ඇමරිකාව අත්අඩංගුවට ගත් පළමු තෙල් ටැංකි දෙක කළු කඩ ලෙස ක්‍රියාත්මක වෙමින් සම්බාධක පැනවූ රටවලට තෙල් සපයමින් සිටි බවයි. ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් CBS නාලිකාවේ ‘Face the Nation’ වැඩසටහනට එක්වෙමින් පැවසුවේ මෙම නැව් අත්අඩංගුවට ගැනීම නිසා ඇමරිකාවේ තෙල් මිල ඉහළ යනු ඇතැයි ජනතාව බිය විය යුතු නැති බවත්, මේවා කළු කඩ වෙළඳ ගනුදෙනු වූ නැව් කිහිපයක් පමණක් බවත්ය.

සෙනසුරාදා අත්අඩංගුවට ගත්, පැනමා ධජය සහිත Centuries ලෙස හඳුනාගත් දෙවන නෞකාව චීනය බලා යමින් තිබූ වෙනිසියුලානු ‘Merey’ බොරතෙල් බැරල් මිලියන 1.8 ක් රැගෙන යමින් තිබුණි. අල් ජසීරා වාර්තාකරු සඳහන් කළේ ට්‍රම්ප්ගේ (total and complete blockade) වෙනිසියුලාවට ඇතුළු වන සහ පිටවන සම්බාධක පැනවූ ටැංකි නෞකාවලට අදාළ වුවද, ‘Centuries’ නෞකාවට ඇමරිකාව මෙතෙක් සම්බාධක පනවා නොමැති බවයි.

එම නෞකාව අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවට වරෙන්තුවක් නොතිබුණද, එහි තිබූ තෙල් වෙනිසියුලානු රජයේ සමාගමට අයත් බැවින් ඒවා සම්බාධකවලට යටත් බව ධවල මන්දිර ප්‍රකාශිකාව පැවසුවාය. අත්අඩංගුවට ගත් පළමු නෞකාව වන Skipper දැනට ටෙක්සාස් වෙරළට ඔබ්බෙන් නවතා ඇති අතර, එහි ඇති බැරල් මිලියන 1.9 ක බොරතෙල් ඇමරිකාව තුළ පිරිපහදු කිරීම සඳහා ගොඩබෑම සිදු කෙරේ. මෙය ඇමරිකාව තමන්ගේ තෙල් සොරකම් කරන බවට වෙනිසියුලානු රජය කරන චෝදනාවලට තවත් උල්පන්දම් දීමක් වී තිබේ.

‘යුද්ධයක පෙරනිමිත්තක්’

ඇමරිකානු මෙහෙයුම ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය තුළ පවා විවේචනයට ලක්ව ඇත. සෙනෙට් සභික රෑන්ඩ් පෝල් ABC පුවත් සේවයට පැවසුවේ මෙම පියවර “ප්‍රකෝප කිරීමක් සහ යුද්ධයක පෙරනිමිත්තක්” බවයි.

“අපි වෙනිසියුලාව සමඟ යුද්ධයකට යන්නේ නැතැයි මම බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ඕනෑම මොහොතක අප අකමැති, සමාජවාදී හෝ කොමියුනිස්ට් හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන රජයන් 20-30ක් පවතිනවා. නමුත් ලෝකයේ පොලිස්කාරයා වීම ඇමරිකානු සොල්දාදුවාගේ කාර්යය නෙවෙයි,” ඔහු පැවසීය.

මෙම ආතතීන් මධ්‍යයේ වුවද ඇමරිකාව සහ වෙනිසියුලාව අතර තවමත් වෙළඳාම සිදුවන බව විශ්ලේෂකයෝ පවසති. වෙනිසියුලානු ආර්ථිකය බොහෝ දුරට තෙල් අපනයනය මත රඳා පවතින අතර ඉන් වැඩි ප්‍රමාණයක් චීනයට යයි. පුදුමයට කරුණ නම්, ඇමරිකානු තෙල් සමාගමක් වන ‘චෙව්රොන්’ (Chevron) සමඟ ඇති ගිවිසුම තවමත් ක්‍රියාත්මක වීමයි. එබැවින් තෙල් නැව් තුනක් නවත්වා තිබුණද, බොහෝ ටැංකි නෞකා අවසරය ඇතිව ඇමරිකාවට ඇතුළු වෙමින් වෙළඳාම දිගටම කරගෙන යයි.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top