වන අලි හිරිහැර නිසා සිදුවන දේපළ සහ ජීවිත හානි වැළැක්වීම පිණිස කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා කලුකැලේ මංසන්ධියේදී උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් අධිකරණ නියෝග කඩකල බවට චෝදනා කළ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කළ නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට වූ නඩුවකට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී තිබේ.
එහිදී එම අත්අඩංගුවට ගැනීම සිදු කළ අරලංගවිල හිටපු පොලිස් ස්ථානාධිපති විසින් ගොවීන් දෙදෙනාට සිය පෞද්ගලික මුදලින් රුපියල් 30000 බැගින් වන්දි ගෙවන ලෙස නියම කර තිබේ. පොළොන්නරුව – මහියංගණය මාර්ගය අවහිර නොකරන ලෙස අරලගංවිල පොලිසිය කළ ඉල්ලීමකට මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයේ නම් සඳහන්ව නොතිබියදීත් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව එහිදී අනාවරණය වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ව ඇත්තේ, පොලිසිය ඉල්ලීම් කළ පමණින් යමෙකු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීම මහේස්ත්‍රාත්වරයෙකු සිදු නොකළ යුතු බවයි. යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ යුත්තේ සීමිත අවස්ථාවලදී පමණක් බවත් අපරාධ යුක්තිය අනුව පමණක් මහේස්ත්‍රාත්වරයෙකු කටයුතු කළ යුතු බවත් එකී මූලධර්මය විනිසුරු පුහුණු ආයතනවල ඉගැන්විය යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.
මහජන විරෝධතා විසුරුවා හැරීම සහ එහිදී අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතතේ විරෝධතාකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවද එම තීන්දුවේ පෙන්වා දී තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම නොතකා පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් පෙත්සම්කරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් වෘත්තීය ගරුත්වයට මෙය නොගැලපෙන බවත් තීන්දුවේ සඳහන්ව තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චතුර වෙත්තසිංහ සහ නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටිය හ.