ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි ඇමරිකානු හමුදා විසින් අල්ලා ගන්නා ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් ත්‍රස්ත කුමන්ත්‍රණ හා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අද(05) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ඊයේ (04) දින මාධ්‍ය අමතමින් රාජ්‍ය ලේකම්වරයා ඒ බව පවසා තිබුණි.
තෙල් නිරෝධායනයක් බලාත්මක කිරීම හැර, වෙනිසියුලාව පාලනය කිරීමේදී වොෂින්ටනය එදිනෙදා මැදිහත් නොවන බවද එහිදී ඔහු සඳහන් කරන ලදී.
ඒ අනුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇමෙරිකාව විසින් නගන මූලික චෝදනාව වන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ටොන් දහස් ගණනක්, අමෙරිකාවට ප්‍රවාහනය කිරීම සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදීන් සමඟ, වෙනිසුවෙලානු ජනාධිපතිවරයා එක්ව කටයුතු කර ඇති බවයි.
ඒ අනුව, මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණවලට සහය වීම, කොකේන් ඇතුළු මත්ද්‍රවය ආනයන කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ස්වයංක්‍රීය ගිනි අවි ඇතුළු විනාශකාරී අවි ළඟ තබා ගැනීම වෙනිසියුලානු ජනාධිපතිවරයාට එල්ල වන චෝදනා අතරට ඇතුලත්ය.
මේ අතර වෙනිසියුලානු රාජ්‍ය මාධ්‍ය අමතමින් වෙනිසියුලාවේ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ලෝපෙස් සඳහන් කර තිබුණේ නායක නිකොලස් මධුරෝ පැහැර ගැනීමට එක්සත් ජනපදය ගත් පියවර බියගුළු පැහැරගැනීමක් ලෙස හෙළා දකින බවයි. එමෙන්ම එක්සත් ජනපද හමුදා ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකු මෙන්ම වෙනිසියුලානු පාර්ශවයේ හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් අමුතු ලෙස මරා දැමූ බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අනුමත කළ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්ගේ සහාය දක්වන බවත්ය.
මේ අතර එක්සත් ජනපද ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළකර තිබේ.
එක රැයකින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමෙන් පසු තමා කියුබානු රජයේ නිලධාරියෙකු නම් ඒ පිළිබඳ තරමක් විමතියට පත්වන බවයි රුබියෝ පවසා තිබුණේ.
අමෙරිකාවට එරෙහිව කටයුතු කළ කියුබා හිටපු ජනපති ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහකිරීමට උත්සාහ කිරීම ඇතුළු ලතින් ඇමරිකාවේ මිලිටරි මැදිහත්වීම් රැසක් පිළිබඳ දිගු ඉතිහාසයක් එක්සත් ජනපදයට තිබෙන අතර එක්සත් ජනපදයෙන් ගිලිහෙමින් තිබෙන ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීම එක්සත් ජනපදයේ ඒකායන අරමුණ බව නම් පැහැදිලිය.





