විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
තමා පසුපස එන අපරාධකරුවන්ට එසේත් නැතිනම් තමන් පිළිබඳ තමන්ගේ නිවස හෝ දේපොළ පිළිබඳ විපරමින් සිටින පුද්ගලයන්ට එය වාසි සහගත තොරතුරක් විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
එමෙන්ම තමන් විනෝද චාරිකා සඳහා තෝරා ගන්න බස් රථය හෝ වාහනය මෙන්ම රියදුරු පිළිබඳ නිවැරදි අවබෝධයකින් සිටිමද ඉතා වැදගත් බවඔහු කියාසිටියි.
“අප සියල්ලෝම උත්සව සමයකට ප්‍රවේශ වෙනවා. විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දූවරු පුත්තු ගමෙන් පිටත් වෙනවා. මේ වනවි නිල facebook එක හරහා නැතිනම් සමාජ මාධ්‍ය හරහා ඔබගේ ගමනාත්තයන් පිළිබඳව ඔබම දැනුම්වත් කරනවා අපි දැකලා තියෙනවා. Selfie Photo හරහා ඔබ ඉන්නේ නුවරඑළිය , ඔබ ඉන්නේ ගාල්ලේ නැතිනම් ඔබ ඉන්නේ කතරගම යනාදි වශයෙන් මජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකසාගෙන තියෙනවා. මෙය සුදුසු නොවෙයි. ඔබ පසුපසින් එන අපරාධකාරයෙකුට එහෙම නැතිනම් ඔබ පිළිබඳ ඔබගේ නිවස පිළිබඳ විපරමෙන් ඉන්න කෙනෙකුට එය හුදෙක් වාසි සහගත දෙයක් වෙන්න පුළුවන්. එම නිසා අපි අම්මලා තාත්තලාට විශේෂ මතක් කිරීමක් කරනවා ඔබ ඉන්නා තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවෙයි. එමෙන්ම ඔබ මේ චාරිකාව සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා පාසල් ළමුන් අරන් යන චාරිකා සඳහා ඔබ භාවිතා කරන වාහනය, බස් රථය, ඔබගේ රියදුරු, මෙම වාහනයේ අයිතිකරු කවුරුද, මෙහි යාන්ත්‍රික දෝශ පිළිබඳ ඔබ සැහීමකට පත්වෙලා ද මේ රියදුර ගැන සෑහීමකට පත් වෙලා ද, ඔබගේ ගමනාන්තය දක්වා ඔබට යහතින් යා හැකි ගෞරවනීය රියදුරෙක් ඔබ සතුව සිටී ද මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමුකළ යුතුයි.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (11) සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදීය.





