කාලගුණ විපර්යාස තවදුරටත් අපිට දුරස් වූ මාධ්‍ය සිරස්තලයක් නොවේ. එය අපේ දෛනික ජිවිතයේ අත්දැකීමක් බවට පත්ව තිබේ. දිට්වා පිළිබඳව විවිධ පාර්ශව විසින් පවත්වනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණ හේතුවෙන් මෙරට ප්‍රථම වතාවට කාලගුණ විපර්යාස පිළිබඳව මහජන (ප්‍රභූ ?) කතිකාවක් ආරම්භ වී තිබීම ආලෝකයකි. එය සොබාදහම සමග ගැටුමකට යෑම වෙනුවට සොබාදහම සමග සහ ආපදා සමග ජීවත් වීමට පෙලඹුම් කාරකයකි.
දිට්වාට හසුවීම: පුර්ව ආපදා සුදානම

දිට්ටාවට මුහුණ දීමට රට සුදානම් කරන බවට ශ්‍රී ලංකාව ලෝකය හමුවේ එකඟ වුයේ 2015 වසරේ මාර්තු මාසයේ ජපානයේ සෙන්ඩායි නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ තුන්වෙනි ආපදා අවම කිරීමේ ලෝක සමුළුවේදීය. සෙන්ඩායි හීදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට භාරගත් වැඩරාමුවේ පදනම වන්නේ ආපදාවක් පැමිණි විට කළමනාකරණය කිරීම වෙනුවට ආපදා ඇතිවීමේ අවදානම සහ එවැන්නකින් වන හානිය අවම කිරීම සඳහා කල්තියා සුදානම් වීමයි.
සෙන්ඩායි සමුළුවේ දී ශ්‍රී ලංකාව එකඟ වූ වැඩ රාමුවේ පළමු වැන්න “ආපදා අවදානමක් අවබෝධකර ගැනීම.” මෙයින් අදහස් කරන්නේ ආපදා අවදානම මෙන්ම ඊට තිබෙන ප්‍රවණතාව, ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ඒකරාශී කිරීම, එම තොරතුරුවලින් එන නිගමන විශ්ලේෂණයකර තේරුම් ගැනීම සහ ඒ සඳහා ඔරොත්තුදීමට සුදානම් විය යුතුය යන්න යි. මේ සඳහා ප්‍රතිපත්ති නීති ආයතන ව්‍යුහ සහ මානව සම්පත් ශක්තිමත් කිරීමට සහ සුදානම් කිරීමට ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා රජය මෙම සමුළුවෙන් පසු බැඳී සිටියේ ය. මෙහි දී හදිසි ආපදාවකදී ජීවිත සහ දේපළ හානි අවම කිරීමට පියවර ගැනීම රජයේ වගකීමක් විය.ඒ අනුව දිට්වා පැමිණෙන විට ශ්‍රී ලංකා රජයට මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට වසර 10ක කාලයක් තිබෙණ අතර වර්තමාන රජයට වසරකට වැඩි කාලයක් තිබිණි.
වර්තමානයේ ඇමෙරිකාව ,ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ආශ්‍රිතව කාලගුණ විපර්යාස කල්තියා හඳුනාගෙන හදිසි ආපදා පුර්ව වශයෙන් දැනුම්දී මේ ඉතා දියුණු තාක්ෂණයක් සහ ක්‍රම වේදයක් තිබේ. ඔවුන්ගේ නිගමන සහ කල්තියා කරනු ලබන නිර්දේශ පිළිබඳ තොරතුරුවලට ජනමාධ්‍යවලට මෙන්ම ආණ්ඩුවලට ද සෘජු ප්‍රවේශයක් තිබේ. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥන් ගේ සංගමය මෑතක දී නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ දිට්වා පැමිණීමට සති දෙකකට පෙර සිට 25 වතාවක් ඒ පිළිබඳව රජයට දැනුම්දුන් බවයි. තව ද ඉන්දීය කාලගුණ අධිකාරිය ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට පූර්ව දැනුම් දීම් කළ බව නිවේදනය කර ඇත.
මීට අමතරව බි. බි. සී, සි. එන්. එන්, අල්ජසීරා යනාදි ජාත්‍යන්තර මාධ්‍ය අඛණ්ඩව මෙම අනතුර පිළිබඳව පුරෝකථන වාර්තා ප්‍රචාරය කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ දෙරණ නාලිකාව මේ පිළිබඳව සාකච්ඡා වැඩසටහනක ද ප්‍රචාරය කළේය. ඒ කාලගුණ අධ්‍යක්ෂවරයාගේ සහභාගිත්වයෙනි.
ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ජනමාධ්‍ය නිරීක්ෂණය සහ විශ්ලේෂණය සඳහා වෙනම අංශයක් තිබේ. මෙම අංශය පැය 24 ම දේශීය සහ විදේශීය ජනමාධ්‍ය ප්‍රවෘති පරීක්ෂණය කරමින් ගැටලු සහ ප්‍රවණතා පිළිබඳ අවම වශයෙන් වාර්තා දෙකක් ජනාධිපති කාර්යාලයට භාර දෙයි.
ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා වැඩසටහනකින් පෙන්වා දුන් පරිදි ඉහත තත්ත්වය විශ්ලේෂණය කරන විට පැහැදිලි වන්නේ දිට්වා සුළි කුණාටුව විසින් කරන ලද ජීවිත විනාශය, දේපළ විනාශය සහ මිනිසුන්ගේ ජීවිතවලට කළ හානියට වර්තමාන ආණ්ඩුව සෘජුව වගකිවයුතු බවයි. එය ආණ්ඩුවේ වගවීම සහ විවෘතභාවය පිළීබඳ බරපතළ කුකුසක් ඇති කරයි. මෙරට සිවිල් සංවිධාන සහ නීති ප්‍රජාව ආණ්ඩුවේ මෙම වගකීම් විරහිත හැසිරීම පිළිබඳව අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම අනාගතයේ බිහිවන ආණ්ඩුවලට ද පාඩමක් කියා දෙයි.
සන්නිවේදන ජාල සහ විදුලිය ඇණ හිටීම

දිට්වා මෙතරම් විනාශක් කිරීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ සුළි කුණාටුවක් සමග විදුලිය සහ සන්නිවේදන ජාල ඇණ හිටිමයි. ජංගම දුරකතන බහුතරයක් මෙන්ම රැහැන් සහිත දුරකතනවල සහ අන්තර්ජාලසම්බන්ධතා ජාලය ද විදුලිය ද සති කිහිපයක් ගත වන තෙක් අඩාල වී තිබිණි.
පුර්ව ආපදා අනතුරු හැඟවීමේ සම්ප්‍රේක්ෂකයා වන්නේ ජනමාධ්‍ය සහ දුරකතන ජාලයයි. නිදසුනක් වශයෙන් ලෝකයේ ආදර්ශමත්ම පූර්ව අනතුරු හඟවන්නා ලෙස සැලකෙන ජපන් මහජන සේවා ගුවන්විදුලි සහ රුපවාහිනී ආයතනයේ (NHK/Public Service Broadcaster) ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරමු.
හදිසි ආපදාව පිළබඳව පුර්ව දත්ත සහ වාර්තා ලබා දෙන මධ්‍යස්ථාන සහ තාක්ෂණ ජාලය සමග NHK ආයතනය පැය 24 ම සම්බන්ධ වී අවධානමෙන් සිටී. අනතුරුව පිළිබඳ පුරෝකථන ලැබුණු වහාම සියලු ම මාධ්‍ය තම වැඩසටහන් ක්ෂණිකව නවත්වා ඒකාබද්ධ වී රූපවාහිනී, ගුවන්විදුලි, ජංගම දුරකථන කෙටි පණිවුඩ, අන්තර්ජාල පණිවුඩ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මැරතන් අනතුරු හැඟවීමේ සහ ජීවිත බේරා ගැනීමේ ප්‍රචාරණ ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වා ගෙන යයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ ජංගම දුරකථන සමාගම් මෙන්ම විදුලි බල මණ්ඩලය ද මෙවැනි භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කර තැබීමට රජයන්ට වසර 10 ක් සහ මෙම ආණ්ඩුවට වසරක කාලයක් තිබිණි. එහෙත් එවැනි සූදානමක් හෝ මෙහෙයුමකින් තොරව ආපදාවට පත් වූ ජනයාට අඳුරු, භයංකර, හුදෙකලා රැයක් සහ අවිනිශ්චිත ජීවිතයක් උරුම විය.
හදිසි ආපදාවකදී තොරතුරු හුවමාරුව යනු ජනතාවගේ ජීවිත ආරක්ෂකයා ය. හුදෙකලා බවින් සහ මානසික භීතියෙන් බේරාගන්නා විශ්වාසවන්ත සගයා ය. එහෙත් දිට්වා එනවිට මේ සන්නිවේදන සගයින් අතුරුදන් වී ගොස් ය.
ජංගම දුරකතන සමාගම් සහ පාරිභෝගිකයා අතර පැවති ගිවිසුම කඩ කිරීම
ජංගම දුරකතන සමාගම් තම බිඳවැටීමට හේතුව හෝ එම සමාගම් සහ පාරිභෝගිකයා අතර පැවති ගිවිසුම කඩ කිරීම පිළිබඳව මේ වන තෙක් කිසිම ප්‍රකාශයක් කර නොමැත. මෙම දුරකතන සමාගම් පවත්වාගෙන යන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂම විසින් ලබාදෙන බලපත්‍රයක් මතය. එය ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයකි. එමෙන්ම ඔවුන්ට මහජන සේවා වගකීමක් ද තිබේ.
මීට අමතරව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීමක් ද තිබේ. ආණ්ඩුව මෙවැනි ආපදාවකට කලින් මුහුණ දීමට සූදානම් වූවා නම් මෙම ජංගම දුරකතන සමාගම්වලට මෙවැනි අවස්ථාවක දී ඇතිවන තාක්ෂණික බාධා මග හැරීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් (Backup plan) සකස් කිරීමේ බලපත්‍ර කොන්දේසියක් පැනවිය යුතුව තිබිණි. අනාගතයේ මෙවැනි සිදුවීම් යළි ඇති නොවන්නට දුරකතන සමාගම් සමග නව කොන්දේසිවලට යෑමට ආණ්ඩුව නීති සහ රෙගුලාසි සකස් කළ යුතුය.
ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන
ගුවන් විදුලි මාධ්‍ය ඇනහිටීම නිසා ගුවන් විදුලි සහ රූපවාහිනී ප්‍රචාර සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව ජනතාවට අහිමි විය. මෙය ද පෙර සූදානම් නොකිරීමේ ප්‍රතිඵලයකි. මෙම මාධ්‍ය සඳහා ප්‍රවේශයක් තිබුණේ නම් ආපදාවේ බරපතළකම පිළිබඳ පූර්ව වශයෙන් දැන ගැනීමටත්, ආපදාව සිදුවන සහ සිදු වීමෙන් පසු ජීවිත සහ වෙනත් හානි අවම කර ගැනීමටත් මෙම මාධ්‍ය හරහා මඟපෙන්වීම් සහ උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබිණි. විශේෂඥ සහ නිලධාරී ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය හරහා ක්ෂණික පියවර ගැනීමට පහසුකම් සැලසීමටත් ජනතාව ගේ මානසිකත්වය රැක ගැනීමට පහසුකම් සැලසීමටත් අවස්ථාව තිබිණි.
මෙවැනි ස්වාභාවික ව්‍යසනයකට සූදානම් වීමේ, ඔරොත්තු දීමේ සහ ජීවිත නැවත ගොඩනැගීමේ භූමිකාවට තාක්ෂණික වශයෙන් ද ගති ලක්ෂණ වශයෙන් ද ගැළපෙන්නේ ගුවන්විදුලි මාධ්‍යය යි. තවමත් අපේ රටේ දුර බැහැර ප්‍රදේශවල මෙන්ම කෘෂිකර්මාන්තය ආශ්‍රිත ජීවන රටාවක් තිබෙන ජනතාව ගේ ප්‍රධානතම තොරතුරු මූලාශ්‍රය මෙන් ම සගයා බවට ද පත්ව තිබෙන්නේ ගුවන් විදුලි මාධ්‍යය යි. ජංගමශීලී බව, සරල බව සහ තාක්ෂණික බාධා අඩුකම යනාදි හේතු මීට බලපා තිබේ. බැටරි මගින් ක්‍රියා කරන ගුවන් විදුලි යන්ත්‍ර තිබේ නම් ස්වාභාවික ආපදාවකදී ජීවිත ගලවා ගැනීමේ ප්‍රධානතම මෙහෙයුම්කරුවා බවට පත් වන්නේ ගුවන් විදුලි මාධ්‍යය යි.
මෙම ආපදාව එක් එක් ප්‍රදේශයට සහ එක් එක් ප්‍රදේශවල ජන ජීවිතයට බලපෑවේ එකිනෙකට වෙනස් ආකාරයට ය. ඔවුන්ගේ අවශ්‍යතා , ගැටලු තොරතුරු සහ සන්නිවේදන අවශ්‍යතා ද එකිනෙකට වෙනස් විය. මේ නිසා ප්‍රාදේශීය සහ ග්‍රාමීය අවශ්‍යතාවලට ගැළපෙන ජනමාධ්‍ය මෙවලමක් මේ සඳහා අවශ්‍ය වේ. මේ යථාර්ථය වඩාත් ගැළපෙන්නේ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානය යි. ප්‍රජාව විසින් ප්‍රජාව සඳහා එම ප්‍රජාව ඉලක්ක කරගෙන පවත්වා ගෙන යනු ලබන ගුවන් විදුලි මධ්‍යස්ථාන ප්‍රජා ගුවන් විදුලි වශයෙන් හඳුන්වා දිය හැකි ය. මෙරට ජනමාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ නොදැනුවත්බව සහ නොසැලකිල්ල හේතුවෙන් අභාවයට පත් කළ ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන ජාලයට ජීවිතය ලබා දීමේ අවශ්‍යතාව දිට්වා අනතුර අපට පෙන්වා දෙයි. පූර්ව ආපදා සූදානම් අවධියේ බැටරි බලයෙන් ක්‍රියාත්මක වන ගුවන්විදුලි යන්ත්‍ර නිවෙස්වලට ලබා දීම සහ ප්‍රජා ගුවන් විදුලි ජාලයක් ස්ථාපිත කිරීම සඳහා ආයෝජනය කිරීම කෙරෙහි රජය වහාම අවධානය යොමු කළ යුතු ය.
හැම් රේඩියෝ

ආපදා සමයේ සන්නිවේදනය සඳහා ගුවන් විදුලි සන්නිවේදන කට්ටලය (Amateur /Ham Radio Sets) බැගින් සෑම ගමකට ම දීම කෙරෙහි මේ මොහොතේ අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.
හැම් රේඩියෝ Amateur (Ham) Radio Sets) යනු හදිසි ආපදාවක දී ජීවිතය රැක දෙන ප්‍රධානතම මෙවලමකි. එය ජීවිත බේරා ගත හැකි අඩු වියදම්, ඔරොත්තු දෙන සහ විමධ්‍යගත විසඳුමකි .
පසුගිය ආපදාවේ දී අප මුහුණ දුන් බරපතළ ම ගැටලුව වූයේ ජංගම දුරකතන සහ අන්තර්ජාල බිඳ වැටීම් හේතුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි වීම යි. මෙතරම් ජීවිත ප්‍රමාණයකට හානි සිදුවීමටත් ජනතාව ගේ ජීවිත නැවත ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීමට බලපෑ ප්‍රධානතම කරුණක් වූයේ මෙය යි. මෙය ලියන විටත් රටේ බොහෝ ප්‍රදේශවල ජංගම දුරකතන පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් සම්බධතාව යථා තත්ත්වයට පත් වී නැත. අනාගතයේ දී මෙවැනි තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට කළ යුතු ප්‍රධානතම පියවර වන්නේ හැම ගමකට ම ආධුනික ගුවන් විදුලි සන්නිවේදන කට්ටලය (Amateur/Ham radio sets) බැගින් ලබා දී ඒවා භාවිත කිරීම පිළිබඳව ප්‍රජානායකයකු පුහුණු කිරීම යි.
මෙම ගුවන්විදුලි කට්ටල පහත කාරණා සඳහා භාවිතා කළ හැකි ය.
* පූර්ව අනතුරු ඇඟවීම්: දුරස්ථ ප්‍රදේශවල පවා සුළි සුළං, ගංවතුර සහ නාය යෑම් පිළිබඳ ඇඟවීම් සම්ප්‍රේෂණය කරන්න.
* උපද්‍රව නිරීක්ෂණය: වර්ෂාපතනය, ගංගා මට්ටම් සහ සුළං තත්ත්ව නිරීක්ෂණය කිරීම, බලධාරීන්ට තීරණාත්මක තොරතුරු ලබා දීම.
* ප්‍රජා සූදානම: අභ්‍යාස සහ පුහුණුවීම් හරහා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ප්‍රදේශවාසීන් පුහුණු කරන්න.
බංග්ලාදේශය (සුළි කුණාටුව භෝලා, 1970 ගණන්): හැම් රේඩියෝ ගම්වැසියන් ඉවත් කිරීමට සහ ජීවිත හානි අවම කිරීමට උපකාරී විය.
පිලිපීනය (ටයිෆූන් යොලන්ඩා, 2013): ජංගම දුරකථන ජාල බිඳ වැටුණු විට, හැම් ක්‍රියාකරුවන් ප්‍රධාන සන්නිවේදන නාලිකාව බවට පත්විය.
ශ්‍රී ලංකාවේ සෑම ගමකටම හැම් රේඩියෝවක් අවශ්‍ය වන්නේ ඇයි:
- විදුලිය හෝ අන්තර්ජාලය නොමැතිව ක්‍රියා කරයි .
- දුරස්ථ, කඳුකර සහ දූපත් ප්‍රදේශ ආවරණය කරයි .
- තත්‍ය කාලීන යාවත්කාලීන කිරීම් සඳහා ද්වි-මාර්ග සන්නිවේදනය සක්‍රීය කරයි.
- හැම් රේඩියෝ ජාල, ආපදා කළමනාකරණ සැලසුම්වලට ඒකාබද්ධ කළ යුතු ය.
සූර්ය පැනල සවි කිරීම
ආපදාව බරපතල කල විදුලිය ඇනහිටීමද පූර්ව සූදානම් නොවීමේ ප්‍රතිවිපාකයකි. ඕනෑම ස්වාභාවික ආපදාවකදී විදුලි බල පද්ධතියට වන හානිය පූර්ව වශයෙන් නිගමනය කල හැකිව තිබුණු තත්වයකි. අවම වශයෙන් සතුට ගමකම ගෙවල් කිහිපයක හෝ කුඩා සූර්ය පැනලය බැගින් සවි කිරීම කෙරෙහි ආණ්ඩුව අවධානය අවධානය යොමු කල යුතුව තිබිණි. එය මෙවැනි අවස්ථාවකට ඵලදායී ආයෝජනයකි. ඉදිරි වසර පහ තුල ඉදි කරන සෑම නිවසකම කුඩා සූර්ය බල ශක්ති ඒකකයක් සවි කිරීමට අනිවාර්ය කිරීම සහ ඊට රජය මඟින් ප්‍රතිපාදන ලබා දීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කල යුතුය.
ආපදා සංස්කෘතියක් ගොඩනැගීම
ජපන් ජාතිකයෝ සෑම සැප්තැම්බර් පළවෙනිදාක ම ජාතික ආපදා දිනය පවත්වයි. ලෝකයේ වැඩි වශයෙන් ස්වාභාවික අපදාවලට මුහුණ දෙන රටක් වන ජපානය එය අවම හානියකින් කළමනාකරණය කර ගන්නට සමත් වන එක සාධකයක් වන්නේ එරට පවතින ආපදා සංස්කෘතිය යි. ජපන් ජාතිකයෝ සෑම සැප්තැම්බර් පළවෙනිදාක ම ජාතික ආපදා දිනය පවත්වයි.
ගංවතුර, සුළි සුළං, නායයෑම්, සහ නියඟ තවදුරටත් දෛනික ජීවිතය කඩාකප්පල් කරන දුර්ලභ සිදුවීම් නොවේ. ලක්‍ෂ සංඛ්‍යාත සංඛ්‍යාත ජනතාවට – විශේෂයෙන් ආපදාවලට ගොදුරු විය හැකි කලාපවල ජීවත් වන අයට – ඒවා නැවත නැවත අත්විඳීමට සිදුවන අත්දැකීමකි. මෙම නව සාමාන්‍ය තත්ත්වය තුළ, ආපදාවලින් පසු ප්‍රතිචාර දැක්වීම තවදුරටත් ප්‍රමාණවත් නොවේ. හදිසි අවශ්‍යතාවක් වන්නේ ස්වාභාවික විපත් සංස්කෘතියකි. අවදානම පිළිගෙන ඒ සඳහා සාමූහිකව සූදානම් වන සිතීමේ සහ ජීවත්වීමේ ක්‍රමයකි.
ස්වාභාවික විපත් සංස්කෘතියක් යනු බියෙන් ජීවත් වීම නොවේ. ඒ වෙනුවට, එය දැනුවත්භාවය, සූදානම සහ බෙදාගත් වගකීම ගැන ය. පාසල් අධ්‍යාපනය, ගොඩනැගිලි ප්‍රමිති, මාධ්‍ය පණිවිඩ යැවීම සහ ප්‍රජා අභ්‍යාස හරහා ජපානය, ඉන්දුනීසියාව සහ චිලී යනාදි රටවල් ආපදා සූදානම එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරන ආකාරය පෙන්වයි. මෙම සමාජවල, පූර්ව අනතුරු ඇඟවීම් විශ්වාස ජනතාව විසින් විශ්වාස කරනු ලැබේ. ඉවත් කිරීම සහජයෙන් ම සිදු වන අතර, සූදානම මාර්ග ආරක්ෂාව හෝ මහජන සෞඛ්‍ය පිළිවෙත් මෙන් සාමාන්‍ය දෙයකි. එමගින් ආපදාවේ බලපෑම සැලකිය යුතු ලෙස අඩු වේ.
බොහෝ විට, අපේ රටේ ආපදා කළමනාකරණය තවමත් ආපදාවට ප්‍රතික්‍රියා දැක්වීමේ උපායමාර්ගවලට සීමා වී තිබේ. රජය සහ ප්‍රජාව සම්පත් රැස් කරන්නේ, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, හදිසි සහන සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණය ගැන අවධානය යොමු කරන්නේ විනාශය සිදු වූ පසු පමණි. මෙම ප්‍රතිචාර අත්‍යවශ්‍ය වුව ද, ඒවා මිල අධික, චිත්තවේගීය වශයෙන් වෙහෙසකර වන අතර ජීවිත හානි වැළැක්වීමට බොහෝ විට ප්‍රමාද වැඩි ප්‍රතිචාර ය. ආපදා සංස්කෘතියක් සූදානම සහ වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරයි. දේශීය උපද්‍රව තේරුම් ගැනීම, ඉවත් කිරීමේ මාර්ග සැලසුම් කිරීම, නිවාස සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ තෙත් බිම් බඳු ස්වාභාවික බාධක ආරක්ෂා කිරීම ආදිය නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි ය. සූදානම, ආපදාවක් සිදු වූ විට භීතිය, ව්‍යාකූලත්වය සහ අවදානම අඩු කිරීමෙන් ජීවිත බේරා ගනී.
ආපදා සංස්කෘතියේ වැදගත්කම භෞතික පමණක් නොව මානසික ද වේ. ආපදා ගැඹුරු චිත්තවේගීය කැළැල් ඉතිරි කරයි. බිය, අවිනිශ්චිතතාව සහ කම්පනය ඇති කරයි. සූදානමක් නොමැති ප්‍රජාව තුළ, වැරැදි තොරතුරු සහ අසරණභාවය බොහෝ විට අර්බුදවල ආධිපත්‍යය දරයි. ඊට වෙනස්ව, ශක්තිමත් ආපදා සංස්කෘතියක් මානසික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගයි. අපේක්ෂා කළ යුතු දේ සහ ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ජනතාව දන්නා විට, බිය, විශ්වාසය සහ සහයෝගීතාවයෙන් ප්‍රතිස්ථාපනය වේ. ආපදා පිළිබඳ ඉගෙන ගනිමින් හැදී වැඩෙන දරුවන් මුහුණ දීමට වඩා හොඳින් සන්නද්ධ වන අතර, අවදානම පිළිබඳ විවෘතව කතා කරන ප්‍රජාව ඉක්මනින් සුවය ලබයි. ආපදා සංස්කෘතිය දොස් පැවරීමට වඩා ඉගෙනීම ප්‍රවර්ධනය කරයි. ඊළඟ වතාවේ අසාර්ථක වූයේ කවුද යන්න වෙනුවට හානිය අඩු කළ හැක්කේ කෙසේ ද යන්න විමස යි.
ආපදා සංස්කෘතියේ හදවත වන්නේ ප්‍රජාවයි. ආපදා ප්‍රදේශ පාදක වන අතර අසල්වැසියන් බොහෝ විට පළමු ප්‍රතිචාර දක්වන්නන් වේ. පුහුණු ස්වේච්ඡා සේවකයින්, බෙදාගත් නවාතැන්, ඇතුළත් සැලසුම් කිරීම සහ දේශීය දැනුමට ගරු කිරීම හරහා ප්‍රජා පාදක සූදානම – ප්‍රතිචාර වේගවත්, සාධාරණ සහ වඩාත් ඵලදායී බව සහතික කරයි. සූදානමේ හිමිකාරිත්වය මිනිසුන්ට දැනෙන විට, ඔරොත්තු දීමේ හැකියාව බාහිර නියෝගයකට වඩා සාමූහික ශක්තියක් බවට පත්වේ.
අධ්‍යාපනය සහ මාධ්‍ය මෙම සංස්කෘතිය හැඩගැස්වීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. පාසල්වලට ආපදා පිළිබඳ දැනුවත්භාවය ජීවිත කාලය පුරාම පුරුදු බවට පත් කළ හැකි අතර, වගකිවයුතු මාධ්‍ය කලාවට සංවේදී කිරීමට වඩා දැනුම් දිය හැකි ය; විශ්වාසය ගොඩනග ගත හැකි ය; වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කළ හැකිය. අවදානම් අඩු කිරීමට ප්‍රමුඛත්වය දෙන ප්‍රතිපත්ති, ආරක්ෂක ප්‍රමිති බලාත්මක කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවල ආයෝජනය කිරීම සමඟ සහයෝගී පාලනය සමානව වැදගත් වේ.
අවසාන වශයෙන්, ස්වාභාවික විපත් සංස්කෘතියක් යනු ස්වභාවධර්මය සමග මානව වර්ගයා ගේ සම්බන්ධතාව නැවත අර්ථ දැක්වීමයි – අවදානම සමග ජීවත් වීම මිස එය ප්‍රතික්ෂේප කිරීම නොවේ. ආපදා නිතර නිතර සිදුව න විට ඇත්තේ එක් තේරීමක් පමණි. එනම්, පාඩු සහ ප්‍රකෘතිමත් වීමේ චක්‍රවල සිරවී සිටීම වෙනුවට ජීවිත බේරා ගන්නා සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන සංස්කෘතියක් කෙරෙහි ආයෝජනය කිරීම ය. පසුගිය වසර දහයක කාලය තුළ ඒ වෙනුවෙන් ආයෝජනය නොකළේ මන්ද යන්න අද අප නැගිය යුතු ප්‍රශ්නයකි.
මතු සම්බන්ධයි.





