/ Jan 24, 2026

බිමල් UDA සුද්ද කිරීම අරඹලා. ලොකු පුටු කිහිපයක්ම සෙලවෙයි?

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති ධුරයෙන් මෙන්ම ඊට අනුබද්ධ සියළු ආයතනවලින් වහාම ඉල්ලා අස්වැන්නයි ඉංජිනේරු ලොකු බෝගහවත්තගේ කුමුදු ලාල් ට විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (06) දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ඔහුට එලෙස ඉවත් වන ලෙස දැනුම් දී ඇත්තේ තුම්මුල්ල ෆෙන්ටාරා ව්‍යාපෘතියට අදාළව ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් බව සඳහන්.

නාගරික නියාමනයන් සහ පනත උල්ලංඝනය කරමින් අනුමත මහල් ප්‍රමාණයට වඩා මහල් තිස් පහක් වැඩිකරමින්, අසත්‍ය කරුණු පවා ඉදිරිපත් කර නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා දී ඇති බවට සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ඔහු කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ON’Ally Holdings PLC සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

වෙන් වූ විශේෂ කලාපයන් සම්බන්ධ කරමින් භූමිය නිර්මාණය කිරීම, නියාමනයන් වෙනුවෙන් අසත්‍ය කරුණු සකස් කර තිබීම වැනි හිතාමතාම මහල් ප්‍රමාණය වැඩිකිරීමේ කූඨ උවමනාවෙන් යුතුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති ක්‍රියාවන් නිසා, මෙහි වංචාවක් හෝ දූෂණ තත්ත්වයක් පවතින බවට පැහැදිලි ඉඟි ලැබී ඇතැයි චෝදනා කරමින් ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන මේ වනවිටත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුව සිටියි.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සිදුව ඇතැයි කියන දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඊට වගකිවයුතු යයි සැලකෙන හිටපු නීති අධ්‍යක්ෂවරියට එරෙහිව වහාම නිත්‍යානුකුලව කටයුතු කිරීමටද අමාත්‍යවරයා විසින් අදාළ පාර්ශව වෙත උපදෙස් දී ඇතැයි ද වාර්තා වෙයි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව කළ යුතු බවට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top