මාතර, දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව මඟින් මේ වන විට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, මෙම අනතුරින් පසු තවමත් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයින් දෙදෙනා සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි.
ධීවරයින් පස්දෙනෙකු සමඟ දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පස්වරුවේ මුහුදු ගිය දිනේෂ් 01 ධීවර යාත්‍රාව නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීයි.
මෙම අනතුරින් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, වෙනත් ධීවර යාත්‍රාවක පිරිසක් විසින් ඔහුව මුදවා ගැනීමට කටයුතු කර තිබුණි.
නාවික හමුදාව විසින් එම ධීවරයා ගොඩ බිමට රැගෙන ඒමෙන් පසු කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.