ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේදීත් පවතින තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (27) පස්වරුවේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ රතු නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවද පැවසේ.
යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා දමන බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
කලාප අංක 06 කළු පාලම ප්‍රවේශ මාර්ගය පමණක් සංචාරකයින් සඳහා විවෘතව තබන බවද එහි සඳහන් වේ.
එමෙන්ම හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, වස්ගමුව ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය, විල්පත්තුව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා මුළුමනින්ම වසා ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින් වැඩිදුරටත් දන්වා සිටී.
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ.





