ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (10) දින නියම කරනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ මෙම නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය අධිකරණයේ පෙනී සිටියහ. එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, තමන් විසින් ඉල්ලා ඇති අත්‍යවශ්‍ය ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් මෙතෙක් ලබා දී නොමැති බවයි.
ඊට ප්‍රතිචාර වශයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට සහතික වූයේ, එම ලේඛන නොවැම්බර් මස 03 වන දිනට පෙර විත්තිය වෙත ලබා දීමට පියවර ගන්නා බවයි.