/ Dec 29, 2025

ණය ගෙවීම් යළි තාවකාලිකව අත්හිටුවිය හැකිද? ඒක හරියට පොඩි ළමයෙක් ගින්දර එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්!

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය සැලකිල්ලට ගනිමින් යළි ණය ප්‍රතිව්‍යුහගතකරණයට යාම උචිත නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර නැවත වරක් එම ක්‍රියාවලියම සිදු කිරීම හරහා විශාල ලෙස සම්පත් සහ කාලය වැයවීම සිදුවන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ ට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවන ලෙස නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් කර තිබෙන ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකරමිනි.

මහාචාර්යවරයා එය තවදුරටත් පැහැදිලි කරමින් පවසන්නේ ලංකාව වැනි කුඩා රටක් මෙවැනි ආකාරයට ජාත්‍යන්තරය එක්ක කෙටියෙන්ම කියනවා නම් ගනුදෙනු කිරීමට සැරසීම යනු හරියට පොඩි ළමයෙක් ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වැනි වැඩක් බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වන දුනුසිංහ මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අනුගත වීම හරහා ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට මුහුණ පෑ ආකාරයෙන්ම ඉතාමත් සංකීර්ණ හා දුෂ්කර අවධියකට යළිත් වරක් ගමන් කිරීමේ හැකියාව ඇති බවයි.

මේ අතර ණය ගෙවීම යළිත් වරක් කල් දැමීම හරහා අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට එක්වීමට ඇති අවස්ථාව අහිමි වන බවත් එමෙන්ම විශාල වශයෙන් ණය බරක් දැරීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

”මම හිතන්නේ ලංකාව වැනි කුඩා රටක් මෙවැනි ආකාරයට ජාත්‍යන්තරය එක්ක කෙටියෙන්ම කියනවා නම් ගනුදෙනු කරන්න යනවා කියලා කියන්නේ හරියට පොඩි ළමයෙක් ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. ඒ තුළ වෙන්නේ අපි පිච්චෙන එක, නැත්නම් අපිට හානි කරගන්න එක. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකද අපි ණය පැහැර හැරීම නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත්වුණා. යළි වරක් එවැනි තත්වයකට අපි ගමන් කිරීම තුළ වෙන්නේ විශේෂයෙන්ම යළි වරක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන එකට සාකච්ඡා කිරීම තුළ වෙන්නේ ඒ හරහා අපි . ජාත්‍යන්තර වශයෙන් අපි අපකීර්තියට පත් වෙනවා. ඒ අනුව මම හිතන්නේ නැහැ මේ පැහැර හැරිය යුතුයි. නැත්නම් නව ණය ප්‍රතිව්‍යුහගතකරණය ගමන් කළ යුතුයි කියන. ඒ කණ්ඩායමේ ඒ ආර්ථික විද්‍යාඥයින්ගේ සමූහයේ උපදෙස් අනුව ලංකා රජය කටයුතු කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කල්පනා කරන්නෑ. මේ නිසා එවැනි උපදෙස් මත මේ අවස්ථාවේදී රජය තීන්දු, තීරණ ගැනීම වෙනුවට අපි මේ දක්වා ආ ගමන මේ ජාත්‍යන්තරව මූල්‍ය අරමුදලත් සමග ආ ගමන හා ණය ප්‍රතිව්‍යුහගතකරණ කරන ණය හිමිකරුවන් සමඟ ඇති කරගෙන තියෙන එකඟතා අනුව ඉදිරියට ගමන් කිරීම තමයි වඩාත් උචිත වෙන්නේ.” යනුවෙන් දුනුසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

සබැඳි පුවත්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top