මේ දිනවල අතිසාර්ථකව තිරගත කෙරෙන ක්ලැරන්ස් – රිදම් ඔෆ් දි ගිටාර් සිනමාපටය සම්බන්ධයෙන් ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ බිරිඳ ශීලා විජේවර්ධන නොමනාප අදහස් දක්වා තිබේ.
ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයට අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, මෙම සිනමාපටය මගින් තමාගේ සහ සැමියාගේ චරිත මෙන්ම තම ප්‍රේම කතාවද බරපතළ ලෙස විකෘති වී ඇති බවයි.
මෙරට කණ්ඩායම් සංගීතයේ ප්‍රබල සලකුණක් වන ක්ලැරනස්ගේ බිරිඳ මේ වන විට වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඇය තවදුරටත් කියා සිටින්නේ සිනමාපටයට තමන් කැමැත්ත දුන්නද එය පූර්ණ කැමැත්තක් නොවන බවයි. එහි දැක්වෙන කරුණුවලින් තමන්ගේ පවුල අපකීර්තියට ලක්වනු ඇති බවට දියණිය පවසන බව ශීලා විජේවර්ධන කියා සිටී.
තමන් බෞද්ධ පවුලක හැදී වැඩුණු අතර සිනමාපටයේ තමන්ගේ චරිතය කතෝලික දහම වැළඳ කන්‍යා සොයුරියක් වීමට උත්සාහ දරණ බව පෙන්වා තිබීම තම පරම්පරාවටද කරන ලද හානියක් බවයි ඇය අවධාරණය කර ඇත්තේ. තමන් සහ සැමියා ආගම් දෙකකට අයත් වුවත් කිසිදා ආගමික ගැටලු මතු නොවූ බවත් එකිනෙකාගේ ආගමික විශ්වාසයනට ගරු කරමින් ජීවත් බවත් ඇය වැඩිදුරටත් පවසා සිටී.
සිනමාපටය මගින් ක්ලැරන්ස්ගේ සැබෑ චරිතය ඉස්මතු නොවන බවද ඇය සඳහන් කරයි. එසේ ම සිනමාපටයේ ගීත යොදාගෙන ඇති ආකාරයට ගැනද ඇය නොපහන් හැඟීමක සිටින බව එහි අදහස්වලින් පෙනී යයි.
ඇය කී අදහස් කොටසක් පහතින්,
“අපි වැදගත් පවුලක හැදුණු කෙනෙක්. මගේ තාත්තා ගමේ ආරච්චිලා කෙනෙක්. ඒත් මෙකේ තිබෙන්නේ මම සිස්ටර් කෙනෙක් වෙන්න යනවා කියලයි. අපි දෙන්නා ආගම් දෙකක වුණත් කවදාවත් ආගම් ප්‍රශ්න ඇතිවුණේ නෑ. මට පන්සල් යන්න එපා කියලා නෑ කවදාවත්. මට ආගමට එන්න කියලත් නෑ කවදාවත්. ඉතින් මේක ඇත්තටම හානියක් තමයි අපේ පාරම්පරාවටත් එක්ක“