/ Mar 18, 2026

දියණියගේ අනාගතය අඳුරු කළා : නුගේගොඩ සා. ජෝසප් බාලිකා විදුහල්පතිනියට එරෙහිව පියා මානව හිමිකම් යයි!

නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය විසින් ද්වේෂසහගත ලෙස කටයුතු කිරීම නිසා සිය දියණියගේ අනාගත අපේක්ෂා අර්බුදයට යන බව පවසමින් එම පාසලේ ඉගෙනුම ලබන දැරියකගේ පියෙකු මානව හිමිකම් කොමිසමට HRC-HO-813-26 අංකය යටතේ පැමිණිල්ලක් සිදු කර තිබේ.

මෙම පැමිණිල්ල වැදගත් වන්නේ, තම දරුවන්ට ඉදිරියටත් අයුතු ලෙස සලකතැයි බියෙන් බොහෝ අසාධාරණකම් ඉවසා සිටින්නට පාසල්වල අසාධාරණයට ලක්වන දරුවන්ගේ මව්පියන් කටයුතු කිරීම සුලබ තත්වයක් වන බැවිනි. අප දන්නා පරිදි, බොහෝ පාසල් ක්‍රියාත්මක වන්නේ විදුහල්පතිවරයාට හෝ විදුහල්පතිවරියට හිතවත් ගුරුවරුන්, ආදිශිෂ්‍ය හේ ශිෂ්‍යා සංගම්වල නිලධාරීන් විසින් එක්ව පිහිටුවා ගෙන ඇති නිලනොවන කාටල මගිනි. ක්‍රම වෙනසක් – අධ්‍යාපන වෙනසක් යෝජනා කරමින් බලයට පැමිණි රජයක් ලෙස වත්මන් ආණ්ඩුව මේ කාටලයන් සම්බන්ධයෙන් ද පියවර ගත යුතු බව අපගේ හැඟීමයි.

උක්ත සිදුවීමට අදාළ පැමිණිල්ල අයුක්තියට ගොදුරු වූ දැරියගේ පියා වන P.H. සුනිල් සෝමසිරි යන අය විසින් සිදුකර තිබේ. එහි සඳහන් වන්නේ, තම දියණිය 2025 වසරේ ජාතික ශිෂ්‍යභට බලකායට අයත් පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදන කණ්ඩායමේ සැරයන්වරිය ලෙස කටයුතු කළ බවත්, මේ වසරේදී ජ්‍යෙ කොනොනි පෙරදිග තූර්ය වාදන නිල උසස් කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට සහභාගි වීම සඳහා ඇය විදුහල්පතිනියගෙන් ලිඛිත අවසරය ඉල්ලා සිටියද විදුහල්පතිනිය එය ලබා නොදුන් බවත් ය.

පියා පවසන පරිදි මෙම දැරියගේ අපේක්ෂාව අනාගතයේ උපාධියක් හදාරා ශ්‍රී ලංකා හමුදාවේ රැකියාවක් කිරීමයි. පාසලක සැරයන්වරියට පමණක් හිමිවන මෙම අවස්ථාව ලබාගැනීමට දැරිය සියලුම සුදුසුකම් සපුරා තිබුණු බවද ඇය පසුගිය කාලය පුරාම ඒ වෙනුවෙන් වෙහෙස වී කටයුතු කළ බවද පවසන ඔහු, දියණිය ජාතික ශිෂ්‍ය භට පුහුණුව සහ පුහුණුකරු ලෙස කටයුතු කරන තැනැත්තාගේ පුහුණුකිරීම්වල ඇති පරතරය පිළිබඳව කළ අදහස් දැක්වීමක් නිසා උදහස් වී විදුහල්පතිනිය මෙලෙස ලිඛිත අවසරය ලබා නොදී ඇයට එම අතිශය වටිනා අවස්ථාව අහිමි කළ බවයි.

පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියක් වන වරුණි වික්‍රමසිංහගේ කැමැත්ත මත පත් කරගන්නා ලද එරංග වික්‍රමසිංහ නම් වූ කිසිදු සුදුසුකමක් නැති අයෙකු සහ ඔහුගේ බිරිඳ පාසලේ පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදන කණ්ඩායමේ පුහුණුකරු සහ සම්බන්ධිකාරක ලෙස යොදවාගෙන නොයෙක් අයුරින් දිගින් දිගටම දැරියන් අපහසුතාවයට පත්කිරීම හේතුවෙන් දක්ෂ සිසුවියන් ගණනාවක් කණ්ඩායමෙන් ඉවත් ගොස් ඇතැයි කියති.

මෙකී චෝදනා පමණක් නොව මුදල් අවභාවිතයන් සම්බන්ධයෙන් වන චෝදනාද මෙකී ප්‍රශ්නය පසුබිමේ ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, සිසුවියකගේ අධ්‍යාපනයේ වැදගත් ඉදිරි පියවරක් වෙනුවෙන් ලිඛිත අවසරයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට විදුහල්පතිනියට ඇති හේතු සාධක කවරේදැයි ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් විදුහල්පති ධුරයේ කටයුතු කරන අය උත්සාහ දරන්නේ කෙසේ හෝ සිය පාසලේ සිසුවකු හෝ සිසුවියක වඩාත් ඉහළ තත්වයකට ඔසවා තබන්නටයි. මෙසේ අසාධාරණයට ලක් වූ බව කියන දැරිය, මෙම ශිෂ්‍යභට කණ්ඩායමේ බොහෝ දක්ෂ ලෙස කටයුතු කරනු නොලැබුවේ නම් ඇය පසුගිය වසරේ සැරයන්වරියක ලෙස කටයුතු කරන්නේ කෙසේද? ශිෂ්‍ය නායිකාවක ලෙසටද කටයුතු කරන මෙම දැරියට මෙම අවස්ථාව ලබා නොදීමට කිසිදු හේතුවක් නැති බව පියා පවසයි.

මෙය කුඩා සිදුවීමක් ලෙස කිසිවෙකුට හෝ පෙනී යා හැකි වුවත්, වැර වෑයමින් තම සිහිනය වෙත පියනගන දරුවෙකුට අහිමි කළ අවස්ථාව ඇයගේ සමස්ත අනාගතයම අඳුරු කරන Butterfly Effect සිදුවීමක් විය නොහැකි ද? තමන්ට පැවරී ඇති තීන්දු තීරණ ගැනීමේ බලය කිසිවෙකු විසින් අත්තනෝමතිකව භාවිත කිරීම යුක්තිසහගත ද? පාසලේ සිටම – රටේ පරිපාලනයේ සිටම මේවා ප්‍රශ්න කිරීම කළ යුතු ය.

මානව හිමිකම් කොමිසම පැමිණිල්ල භාර ගෙන ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අසාධාරණයට ලක් වූ බවට පවසන පියා වෙත දන්වා තිබේ. මේ කටයුත්ත සිදුවන ආකාරය කෙරෙහි අප අවධානය යොමු කළ යුත්තේ, එය බොහෝමයක් සිදුවන මෙවැනි සිදුවීම් කරබාගෙන ඉවසීම යුතු නොවන බව සැමට පෙන්වා දීම පිණිසය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top