/ Jun 23, 2025

අනීතික නියෝග පිළිපැද්ද කොස්තාපල්, දේශබන්දු කමිටුවේදී හඬා වැටෙයි: මේවා කාටත් පාඩම්!

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී සිය ධුරයේ බලය අවභාවිතා කළ බවට කියන සිදුවීම් සහ විෂමාචාර ගැන සෙවීමට පත් කර ඇති පාර්ලිමේන්තු කමිටුව මේ දිනවල සාක්ෂි කැඳවා තිබෙන අතර එහිදී අපූරු කරුණු හෙළිවෙමින් තිබේ.

මෙයින් එක් සාක්ෂියක් වන්නේ, දේශබන්දුට චෝදනා එල්ලවී තිබෙන වැලිගම ඩබ් 15 හෝටලයට වෙඩි තැබීමට ගිය පොලිස් ප්‍රහාරක කණ්ඩායමේ රියැදුරු දුන් සාක්ෂියයි. 43 වියැති පොලිස් කොස්තාපල් රියැදුරෙකු වන දුලිප් ගිහාන් පියතිස්ස යන අය එහිදී හඬා වැටුණේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක සමන්විත කමිටුවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා යන කමිටු සාමාජිකයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු දුන් සාක්ෂියේ දළ සටහනක් පහත පළ වේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අනීතික නියෝග පිළිපැදීම නිසා කණිෂ්ඨ නිලධාරීන් අසරණ වන අවස්ථාවලට නිදසුනක් ලෙස මෙම සටහන දැක්විය හැකි ය.

“මම කොළඹ අපරාධ කොට්ඨාසයේ පාලන අංශයට අනුයුක්තව රියැදුරු ලෙස රාජකාරි කළා. 2023 දෙසැම්බර් 30 වැනිදා ඇනස්ලම් ද සිල්වා මහතා කතා කර මාතර ප්‍රදේශයේ විමර්ශන රාජකාරියකට යන්න තිබෙනවා කියලා වාහනය සූදානම් කර ගන්න කිව්වා. ඒක කේ.ඩී.එච්. වාහනයක්. පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහත්තයා උපදෙස් දුන්නා වාහනයේ ස්ටිකර් අලවන්න කියලා. ඒ අනුව සුදුපාට දිලිසෙන ස්ටිර් ගෙනත් අලෙව්වා. ඩාලි පාරෙන් ස්ටිකර් ගෙනත් කොළඹ අපරාධ කොට්ඨාසයේ ගරාජ් එකේදීමයි ඇලෙව්වේ. ස්ටිකර් ගන්න සල්ලි දුන්නේ නිශාන්ත මහත්තයා. අපි මුලින්ම ගියේ ඇන්සලම් ද සිල්වා ඕඅයිසී මහත්තයාගේ ගල්කිස්සේ ගෙදරට. එහිදී වාහනයේ අංක තහඩු මාරු කරන්න කියලා නිශාන්ත මහත්තයා කිව්වා. ඇයි එහෙම මාරු කරන්නේ ඇහුවම “උඹට වැඩක් නැහැ නේ, කියන දේ කරන්න” කියලා කිව්වා.

මට ඉස්සරහා නම්බර් ප්ලේට් එක මාරු කරන්න බැරි වුණා. ඒක බ්‍රැකට් එකෙන් ගලවා ගන්න බැරි වුණා. පිටිපස්සේ එක මම හයි කළේ. ඉස්සරහා එක උපුල් මහත්තයා තමයි හයි කළේ. උපුල් කියන්නේ මැරුණු කෙනා. මාරු කරපු නම්බර් ප්ලේට් නිශාන්ත මහත්තයා තමයි කිව්වේ, වාහනයේ පිටිපස්සේ යට තිබෙනවා. එතැනින් අරගෙන හයි කරන්න කියලා. මට මුලින්ම කිව්වේ මාතරට යනවා කියලා හයිවේ එකේ ගිහිල්ලා එක්සිට් එකත් පහු වුණා. පහුවෙන කොට මට නිශාන්ත මහත්තයා කිව්වා, “ඔතැනින් නේ දාන්න තිබුණේ, ඇයි දැම්මේ නැත්තේ” කියලා. මම කිව්වා, “මාතර නේ යන්නේ. මම දන්නේ නැහැ, මට කිව්වා නම් මම දානවා නේ” කියලා.

අපි ඉස්සෙල්ලාම ගියා හෝටලය ගාවට. “අර තියෙන්නේ හෝටලය” කියලා නිශාන්ත මහත්තයා කිව්වා. ඊට පස්සේ එහෙමම වෙරළ තීරයේ මීටර් 500ක් විතර ඉස්සරහාට ගිහිල්ලා හරවන්න කිව්වා. හරවලා නැවත හෝටලය බලාගෙන ගාල්ල පැත්තට ආවා. ඇවිල්ලා පොඩි දුරක් ඇවිල්ලා ලොකු ගහක් තිබුණා. එතැන නැවැත්වූවා. එතැනට වෙලා ටිකක් වෙලා හිටියා. කට්ටිය බැහැලා මුත්‍රා කළා. ඊට පස්සේ නැවත හෝටලය පැත්තට ඇවිත් නැවැත්වුවා. නැවැත්වුවාට පස්සේ එතැන වැඩ කරන සිකියුරිටි කෙනෙක්ද කොහේද වෑන් එක ළඟට ආවා. ඊට පස්සේ එතැනින් ආපහු ගියා. ආපහු ඉස්සරහට යනකොට ඕඅයිසී මහත්තයා කිව්වා, “මේක හරියන්නේ නැහැ. අත්හැරලා දාලා යමු යන්න” කියලා. ඊට පස්සේ නිශාන්ත මහත්තයා කිව්වා, “ආපු වැඩේ කරලා යන්න ඕනෑ” කියලා. උපුල් මහත්තයා කිව්වා, “හරවපං, හරවපං” කියලා. නිශාන්ත මහත්තයයි, කට්ටියයි කිව්වා, “හරවන්න” කියලා. ඊට පස්සේ ආපහු හැරෙව්වා. හරවලා නැවත හෝටලය ළඟට ආවා. වාහනයේ වම් පැත්තේ පැතිදොර ඇරියා. ඒක ඔටෝ දොරක්. මධුරංග මහත්මයා තමයි එතැන සීට් එකේ ඉඳගෙන හිටියේ. පස්සේ මධුරංග මහත්මයා හෝටලය පැත්තට වෙඩි තිබ්බා.

හයිවේ එකෙන් එළියට දැම්ම නිශාන්ත මහත්තයා කිව්වා සමහරු දන්නෑ නේ මොකටද යන්නේ කියලා, හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ එයාලාගේ පාටියක් තිබෙනවා 31. ඒක නවත්වන්න ඕනෑ. ඒකට හෝටලයේ ඒ බෝඩ් එකටයි, බිත්තියටයි වෙඩි තියන්න ඕන කථාවක් කිව්වා. එතකොටයි දැන ගත්තේ අපි යන්නේ මොකටද කියලා.

මධුරංග මහත්තයා වෙඩි තියද්දි මමත් ඒ පැත්ත බලාගෙන හිටියා. ඊට පස්සේ අපේ වාහනේ හිටපු කවුරු හරි කිව්වා, “පොලීසියෙන් පොලීසියෙන්” කියලා. ඒ එක්කම ඕඅයිසී මහත්තයයි, නිශාන්ත මහත්තයයි, උපුල් මහත්තයයි ‘යමන් යමන්’ කියලා කිව්වා. ඊට පස්සේ මම බලනකොට පොලිස් ජිප් එකක්. ඒ ජීප් එක මෙහෙමම ඇවිල්ලා ඉස්සරහා ගැහුවා. ඊට පස්සේ තමයි, පොලීසියෙන්, “පොලීසියෙන්” කියලා අපේ කෙනෙක් කිව්වේ. ජිප් එක අපිව ඉස්සර කරගෙන ගිහින් නැවැත්වූවා. ඊට පස්සේ අපේ කෙනෙක්, “පොලීසියෙන්, පොලීසියෙන්” කියලා කියද්දී මම ඒ පැත්ත බලනකොට තමයි මමත් ජිප් එක දැක්කේ. එතකොට තමයි, “යමන්, යමන්” කියලා කිව්වේ. එතකොට මමත් කලබල වුණා. ඒ වැරැද්ද කළේ පොලීසියේ අපිනේ. ඒක ලෑන්ඩ් කෲසර් ඨක්‍ නම්බර් එකක් තිබෙන ජිප් එකක්. මම ඊට පස්සේ වාහනය ඉස්සරහට ගත්තා. ඊට පස්සේ අපි වාහනයෙන් ඉස්සර කරගෙන එනකොටම “දඩබඩාස්” ගාලා ශබ්දයක් ආවා. ඊට පස්සේ තවත් ටික වේලාවකින් ශබ්දයක් ආවා. ඊට පස්සේ ලොකු සුළං පාරකුත් වාහනය ඇතුළට ආවා. ඊට පස්සේ OIC මහත්තයාත් කෑ ගැහුවා, “උපුලාට වෙඩි වැදුණා. ඉක්මනට කරාපිටිය හොස්පිට්ල් එකට යමන්.” කියලා. ඊට පස්සේ තමයි එහෙම්ම ආවේ. ඒ එනකොට අපි යන්න පාරවල් දන්නේ නැහැ නේ. ඊට පස්සේ පොලිස් පරීක්ෂක දුනුසිංහ මහත්තයාගේ ෆෝන් එකෙන් ඇප් එක දාගෙන ඒ පාර ඔස්සේ තමයි අපි ආවේ.

අපි වෙල්යායක් ළඟින් යනකොට ඒ පාර පටුයි වගේ. ඊට පස්සේ එතැන පාර වැරදුණා කියලා වාහනය හරවන්නත් හැදුවා. ඊට පස්සේ පාර හරි කියලා නැවතත් ඉස්සරහට ගියා. එහෙම යනකොට ඉස්සරහින් වාහනයක් ආවා. ඒ වාහනයට ඉඩදී ගන්න විදියකුත් නැහැ. ඊට පස්සේ නිශාන්ත මහත්තයා කිව්වා, කන්දක් වාගේ උඩට පොඩි තැනක් තිබුණා, වාහනය එතැනට දාන්න කියලා. ඊට පස්සේ වාහනය එතැනට දැම්මා. ඊට පස්සේ ඒ ආපු වාහනයත් ගියා. ඊට පස්සේ නිශාන්ත මහත්තයාත් වාහනයෙන් බැස්සා. ඊට පස්සේ මට කිව්වා, නම්බර් ප්ලේට් ටික මාරු කර ගණින් කියලා. ඊට පස්සේ මම බැස්සා. බහිනකොට නම්බර් ප්ලේට් මාරු කළා කියලා කිව්වා. එයාලා මාරු කරලා, මම බහිනකොට. ඊට පස්සේ. එහෙමම ආවා.

එනකොට හයිවේ එකට දාන්න ඉමදූවට ගියා. අපිට හයිවේ එකට දාන්න දුන්නේ නෑ. එතන පොලිසියෙන් ඉඳලා නතර කළා. ඊට පස්සේ කිව්වා, “වෙඩි තියලා වාහනය එන්නේ, යන්න දෙන්න බැහැ” කියලා.

ප්‍රශ්නය දැන් ඔය ගමන යන අතරතුර කවුරු හරි කෝල්ස් අරගත්තාද?

පිළිතුර – එහෙමයි, ස්වාමීනී.

ප්‍රශ්නය වෙඩි තියලා එන අවස්ථාවේදීත් කෝල්ස් අරගත්තාද?

පිළිතුර – එහෙමයි ස්වාමීනි.

ප්‍රශ්නය කවුද ඒ අවස්ථාවේදී කෝල්ස් ගත්තේ?

පිළිතුර – නිශාන්ත මහත්තයා තමයි කෝල්ස් ගන්නවා ඇහුණේ මට.

ප්‍රශ්නය තමන් දන්නා හැටියට නිශාන්ත මහත්තයා කෝල් ගත්තේ කාටද?

පිළිතුර . එහෙම කාටද කියලා දන්නේ නැහැ, ස්වාමීනි. කථා කළේ නම් නිශාන්ත මහත්මයා, ස්වාමීනි. ඒ කියන්නේ මට පිටිපස්සේ සීට් එකේ තමයි හිටියේ, නිශාන්ත මහත්තයා. “සර් සර්” කිය කියා කථා කළේ. කාටද කියලා දන්නේ නැහැ, ස්වාමීනි.

අපි අධිවේගී පිවිසුමේදී නතර කළාම අපිට එළියට බහින්න දුන්නේ නෑ. ඒ වෙලාවේ උපුල් සාජන් මහත්තයාට තුවාල වෙලා තිබුණා. මදුරංග මහත්තයාටත් තුවාල වෙලා තිබුණා. ‘අපේ දෙන්නෙකුට තුවාල වෙලා තිබෙනවා, හොස්පිට්ල් එකට අරගෙන යන්න ඕනෑ, මම සීසීඩී එකේ ඕඅයිසී’’ කියලා ඕඅයිසී මහත්තයා පෙන්නුවා. ඊට පස්සේ වැලිගම එච්කිව්අයි මහත්තයා ඇවිත් බලලා 1990ට කතා කරලා ගෙන්නලා එයාලව රෝහලට යැව්වා.

මුලින් අපි පොලීසියට දුන්නා ප්‍රකාශයක්, ස්වාමීනි. පස්සේ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයටත් ප්‍රකාශයක් ලබාදුන්නා, ස්වාමීනි. ඒක නම් සමාවෙන්න ඕනෑ ස්වාමීනි, මේ කියපු දේවල් නම් නොවෙයි දුන්නේ ස්වාමීනි. පොලිස් පරීක්ෂක නිශාන්ත මහත්තයා කිව්වා, “මේ විධියට ප්‍රකාශය ලබාදෙන්න” කියලා. ඒ ප්‍රකාශය තමයි මුලින්ම ලබාදුන්නේ. “ඉස්සර වෙලාම මනුස්සයෙක් ඉන්නවා දැක්කා එතැන ලොකු බෑග් එකක් තියාගෙන. ඊට පස්සේ ඒ මනුස්සයා පිටිපස්සට දුවලා එයා වෙඩි තියපු හින්දා අපි වෙඩි තිබ්බේ” කියලයි කියන්න කිව්වේ. ඒ අනුව වැලිගම පොලිසියටයි, උසාවියටයි අපි ඇත්ත කතාව නැතුව ඒ කතාව කිව්වා. ඊට පස්සේ ස්වෙච්ඡාවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් එදා වෙච්ච ඇත්තම කතාව කිව්වා.

මේ සිද්ධියට අදාළව 2025 මාර්තු 06 වෙනිදා මගේ වැඩ තහනම් කළා.

ප්‍රශ්නය තමුන් පොලීසියේ නිලධාරියෙක් නේ. 2023 වෙන කොට පොලීසියට බැඳිලා කොච්චර කල් වෙනවාද?

උත්තරය – අවුරුදු 10යි.

ප්‍රශ්නය පොලිස් ජීප් එකක් ආවාම තමන්ගේ වාහනය නවත්වන්නද ඕනෑ, ඉස්සරහාට යන්නද ඕනෑ?

උත්තරය – මට “යමං, යමං” කියලා ඉහළ නිලධාරියෙක් කිව්වාම ඒ කියන දේ තමයි මම අනුගමනය කළේ. වාහනය නවත්වාගෙන හිටියේ.

ප්‍ර පොලිස් ජිප් එක ආවාට පස්සේ නවත්වලා ඒ ගොල්ලන්ට කථා කළ යුතුව තිබුණාද, “යමං, යමංකිව්වාම එතැනින් අයින් වෙලා යන එකද හරි ක්‍රමය කියලා අහන්නේ?

උ- නවත්වලා කථා කරන එක තමයි ස්වාමීනි, හරි. නමුත් ඉහළ නිලධාරියෙක් “යමං, යමං” කියලා කිව්වාම මට යන්න වෙනවා.

ප්‍ර ඒ වැඩේ හරි වැඩක්ද? ඔබට හිතෙන විදියට ඒක හරිද? මම අනෙක් අය කරපු වැඩේ නොවෙයි, ඔබ කරපු වැඩේ හරිද කියලා අහන්නේ?

උ – මට යමං කිව්වාම යන්න වෙනවා නේ, ස්වාමීනි.

ප්‍ර ඔබගේ වාහනයේ සිටි සියලු දෙනාම පොලිස් නිලධාරින් නේද?

උ- එහෙමයි.

ප්‍ර ජිප් එකේ පොලීසියේ මහත්වරුන්ට ඔබතුමාට බැහැලා කියන්න පුළුවන් නේ, අපි ඔක්කෝම පොලීසියේ කියලා.

උ – මට කියන්න බැහැ, උසස් නිලධාරින් ඉන්න කොට. මම ඩ්‍රයිවින් සීට් එකේ ඉන්නේ. උසස් නිලධාරින් ඉන්නවා. එතුමන්ලා තමයි කියන්න ඕනෑ.

ප්‍ර සාමාන්‍ය නිලධාරියෙකු හැටියට කියන්න පුළුවන්.

උ – අනෙක් එක ඔක්කෝම සිවිල් පිට ඉන්නේ. වෙඩි තිය තියා ඉන්න කොට එහෙම කියන්න බැහැ. ඒ කාලයේ පාතාලයේ ක්‍රියාකාරම් තිබුණා නේ. ගොඩාක් ප්‍රශ්න තිබුණා නේ.

ප්‍ර වාහනයට වෙඩි වැදුණේ, තමන් එළවන්න පටන් ගත්ත වෙලාවේදී නේද වාහනයට වෙඩි වැදුණේ? ඒක අතිශය වැදගත්. පො.සැ. උපුල්ටයි උ.පො.ප මදුරංගටයි වෙඩි වැදුණේ යමං කියලා කියපු වෙලාවේදි ඉස්සරහට යන වෙලාවේදි නේද? නවත්වලා ඉන්දෙද්දී නොවෙයි නේද වෙඩි වැදුණේ?

උ – නවත්වලා ඉන්දෙද්දි කිව්වේ නැහැ. යන ගමන් තමයි කිව්වේ උපුල්ට වෙඩි වැදුණේ. ඕඅයිසී මහත්තයා යමං යමං කියලා කිව්වේ.

ප්‍ර යන්න පටන් ගත්තාට පස්සේ නේ වෙඩි වැදුණේ? මොකද කියන්නේ? තමුන් යන්න පටන් ගත්තාට පස්සේ නේද වෙඩි තිබ්බේ?

උ- එහෙමයි.

ප්‍ර- තමුන් දන්නවා, තමුන්ගේ පිටුපසින් හිටපු ඕඅයිසී මහත්තමයා කිව්වා උපුල්ට වෙඩි වැදුණා කියලා? තමුන්ගේ කණට ඇහුණාද?

උ- ඔව්, ස්වාමීනි.

ප්‍ර- කාට හරි වෙඩි වැදුණාම මොකක්ද වෙන්නේ? කාටහරි මනුස්සයෙකුගේ ඇඟට වෙඩි වැදුණාම මොකක්ද වෙන්නේ?

උ- තුවාල වෙනවා.

ප්‍ර ඒකේ උපරිමය මොකක්ද වෙන්න පුළුවන්? මැරෙන්න පුළුවන්ද?

උ – එහෙමයි.

ප්‍ර උපුල් මහත්තයා මැරුණාද?

උ – පස්සේ තමයි දැන ගත්තේ.

ප්‍රශ්න අතරතුර ඔහු හඬා වැටෙන්නට විය.

“මම නම් කළේ නැහැ ස්වාමීනි. මට උසස් නිලධාරියෙක් කරපු වැඩේ තමයි ස්වාමීනි. මම මුල ඉඳන්ම කියන්නේ ඒකයි ස්වාමීනි. ඇත්තම. මම දැන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ ස්වාමීනි. මට දරුවෝ තුන්දෙනෙකුත් ඉන්නවා, ස්වාමීනි. මම දන්නවා නම් පොලීසියට එන්නෙත් නැහැ ස්වාමීනි. මම බැඳලා . විවාහ වෙලා . ආවේ ස්වාමීනි.

ගොවිතැනක් කරන් ඉන්නවා ඔය බවක් දන්නවා නම්. මට එපාවෙලා තිබෙන්නේ ස්වාමීනි දැන්. මට මේ ජොබ් එකත් එපා ස්වාමීනි. නිදහස් වෙන්නයි ඕනෑ මෙව්වායින්. නිදහසේ ජීවත් වෙන්න. වැඩක් කර ගන්න විධියකුත් නැහැ ස්වාමීනි, එපා වෙලා ඉන්නේ මට ස්වාමීනි.” යැයි කියමින් පොලිස් කොස්තාපල් රියදුරුවරයා අඩන්නට විය.

ප්‍ර මහත්තයෝ මේ තමන් සහභාගි වෙච්ච වරද ගැන, මේ තමුන් සහභාගි වෙච්ච වරද ගැන මම කියන්නේ අසත්‍ය වෙන්න පුළුවන්, නීති විරෝධී වරද වෙන්න පුළුවන්, ඒක සිද්ධවෙලා මාර්තු 8 වෙනිදා වෙනකොට අවුරුද්දයි මාස 3ක් ගෙවිලාද? අවුරුද්දයි මාස තුනයි දවස් 8ක් ගෙවිලාද? 2023.12.31 වුණේ? 2024 අවුරුද්දම ගෙවුණා. 2025 මාර්තු 8 වෙනකොට මාස 15යි දින 7ක් ගෙවුණා. ඔව් ද? ඔය කාලය ඇතුළත තමුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කාට හරි නම නැතුව හරි තමන් කම්ප්ලේන් එකක් කළා ද නීති විරෝධී වැඩක් අපේ අතින් වුණා කියලා?

උ – පිළිතුරක් නැත.

ප්‍ර අනේ ඔව්, තමුන් එහෙම කිව්වාද මහත්තයෝ. එච්චරයි? ලියලා තිබෙනවා නම් ඔව් කියන්න නැත්නම් නැහැ කියන්න? පැමිණිල්ලක් කරලා තිබෙනවාද? තමුන් නේ ඕක හොඳටම දන්නේ?

උ – පිළිතුරක් නැත.

ප්‍ර කිව්වේ නැහැ නේ, පැමිණිලි කළේ නැහැ නේ?

උ – පිළිතුරක් නැත.

ප්‍ර ඔබ පැමිණිල්ලක් කරලා කිව්වේ නැහැ නේ. නම නැතුවවත් කළේ නැහැ නේද?

උ – පිළිතුරක් නැත.

ප්‍ර මහත්මයා පොලිස් කොමිසමේ සභාපතිට තමුන්ට ඕක ලියුමක් හැටියට ලියන්න තිබුණා නේ. ලිව්වා ද? ඒක සම්පූර්ණයෙන්ම පොලීසියෙන් ස්වාධීන ආ්යතනයක් නේ. ලිව්වාද?

උ – පිළිතුරක් නැත.

ප්‍ර තමුන් කෙරුවේ නැහැ කියලා මම කියනවා. පිළිගන්නවාද නැද්ද?

උ – ගරු ස්වාමීනි උසස් නිලධාරින්ගේ කීමටයි ගියේ ස්වාමීනි. මේ සම්බන්ධව මම මොනවා කරන්නද උතුමාණෙනි.

යනුවෙන් ප්‍රකාශ කළ එම පොලිස් කොස්තාපල් රියදුරා නැවත හඬන්නට පටන් ගත්තේය.

මෙම සිදුවීමට අදාළව වෙඩි වැදී මියගිය නිලධාරියාට අදාළ වන්දි මුදල් ප්‍රදානය කර ඇති ආකාරයේ බරපතළ ගැටලු ඇති බවත්, සිදුවීමට අදාළව පොලිස් පොත්පත් වෙනස් කර නැවත සකස් කර ඇති බවත් විමර්ශන කමිටුවේදී සාක්කි මගින් අනාවරණය විය.

තරිඳු ජයවර්ධනගේ සටහනක් ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top