පසුගියදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
එහිදී ධීවරයින් එකොලොස් දෙනෙකුද අත්අඩංගුවට පත්විය. එම බහු දින යාත්‍රා දෙකේ තිබී අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්ෂක විධිවිධාන මැද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඉන් අනතුරුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසයි.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයට අනුව අධිකරණ රෙජිස්ටාර්වරයාගේ නිරීක්ෂණය යටතේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ලාකඩ මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.





