ප්‍රධාන මාර්ගවල අනාරක්ෂිත යතුරුපැදි ධාවනය කරමින්, තරඟ පවත්වන සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අතිශය අනාරක්ෂිත ලෙස මහජනතාවගේ ජීවිත සහ දේපොළ තුට්ටුවකට මායිම් නොකරමින් අධිබල එන්ජින් සහිත යතුරුපැදිද යොදාගෙන මහාමාර්ගවල මෙලෙස යතුරුපැදි ධාවන තරඟ පවත්වන තරුණ කල්ලි ගැන බොහෝ ස්ථානවලින් චෝදනා එල්ල වේ. ඒ අතර පසුගිය දා පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේද මෙවැනි යතුරුපැදි කල්ලියක තරඟයක් අතරතුර සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත් වී 22 වියැති තරුණයෙකු බරපතළ තුවාල ලැබීය.
මෙම කරුණ සම්බන්ධයෙන් (20) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මෙලෙස කරුණු දැක්වීය.
“යතුරුපැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සලසා ගන්න මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත්, පදිකයෝ අනතුරට පත් කරන්නවත්, විනයගරුකව සහ නීතිගරුකව රිය පදවන රියදුරන් අපහසුතාවට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල මේක ඉතා භයංකාරයි. ඒක නිසා අපි විශේෂයෙන් කියලා තියෙනවා රථවාහන නිලධාරීන්ට අධික වේගයෙන් අන්තරාදායකව අපරික්ෂාකාරීව යනවානම් අනිවාර්යෙන්ම යතුරුපැදි සම්බන්ධව කටයුතු කරන්න කියලා.
විශේෂයෙන්ම දැන් අවුරුදු 18ට අඩු අයත් යතුරුපැදි පදිනවා. ඊයේ අපි දැක්කා අවමංගල්‍යයකදි. මේකේ වෙලා තිබ්බෙත් යතුරුපැදියක අධික වේගයෙන් රියදුරු බලපත්‍රයක්වත් නැතිව රේස් ගිහිල්ලා මරණයට පත්වෙලා. දැන් ඒ අවමංගල්‍ය පෙරහැරෙත් යන්නේ යතුරුපැදි. සමහර අය හෙල්මට් නැතිව ගිහිල්ලා.
තරුණයන්ගේ මේ එන රැල්ල එච්චර හොඳ නෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි පොලීසියට කියලා තියෙනවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අධිධාරිතාවෙන් යුත් යතුරුපැදි. අපි කියලා තියෙනවා දැන් ඒවා වහාම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒවා රාජසන්තක කරන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා.”





