දෙරණ මාධ්‍ය ජාලය ඉතාමත්ව අවංකව තමන්ගේ සේවා කටයුතු ඉටු කරමින් ජනතාවට ඒ සිදුවන විවිධ වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කටයුතු කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
එතුමෝ මේ බව පවසා සිටියේ දෙරණ මාධ්‍ය ජාලයේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති තුති පිදීමේ දේව මෙහෙයට ඊයේ (09) එක්වෙමිනි. එහිදී දෙරණ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාදිනල් හිමියෝ,
දෙරණ මාධ්‍ය ජාලය ඉතාමත්ව අවංකව තමන්ගේ සේවා කටයුතු ඉටු කරමින් ජනතාවට ඒ සිදුවන විවිධ වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඒ වගේම ජනතාව තුළ යම්කිසි අවබෝධයක්, මේ රටේ පවතින තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම සඳහා ක්‍රියාකාරීවුණු මාධ්‍ය ජාලයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුතියි කියලා කියනවා මේ මාධ්‍ය ජාලය තුළින් ශ්‍රී ලංකා දේශයට සිදුවූ සේවය පිළිබඳව. එහි නිර්මාතෘ දිලිත් ජයවීර මැතිතුමා ඇතුළු එහි නායකත්වය ගන්න සියලුදෙනාට අපගේ ගෞරවය, ප්‍රශංසාව මේ වෙලාවේ හිමිකර දෙන්නට කැමතියි.
යනුවෙන් කියා සිටියෝය.
ප්‍රගතිය කියලා කියන්නේ අනුන් අනුකරණය කිරීම නෙවෙයි. තමන්ට සුදුසු යැයි කියනදේ තෝරාබේරාගෙන තමන්ගේ රටට ප්‍රගතිය සඳහා වෙන දෙයක් තියෙනවා නම්, ඒ් දේ තේරුම් බේරුම් කරගෙන මේ රට තුළ ඒ්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක්. මේක දේශපාලන නායකත්වයේ වගකීමක් නෙමෙයි. මේක මුළු රටේම වගකීමක්. ඒ් නිසා අපි මේ රටට ආදරය කරන පුරවැසියන් හැටියට, අපේ මේ පසුගිය උරුමය අමතක කර විදේශීය රටවල්වලින් පැමිණෙන චින්තන පස්සේ, වහලුන්වාගේ, එහෙම නැත්නම් නිකම් තද වචනයක් කිව්වොත් ඇඹලයන්වාගේ ඒ්ක පස්සෙන් යාම අපේ ආත්මගරුත්වයට මදිකමක් හැටියට අපි සලකන්න ඕනා. අපිටත් ආත්මගරුත්වයක් තියෙනවා. අපි මේ ආසියාකරයේ සමහර රටවල්වලට වඩා දිර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. එහෙම අපේ රට ගැන අපි උද්දාමයට පත්විය යුතුයි. උද්දාමයට පත්වීම තුළ අපි අපේ රට තුළ තියෙන දේවල්වල සිරකරුවන් විය යුතු නැහැ. නමුත් අපි අන්‍ය දේශවලින් පැමිණි යහපත් දේ, තෝරාබේරාගෙන අපේ රට තුළට සුදුසුදේ පමණක් පිළීගැනීම සහ ඒවා අපේ රටට ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවා නම් ඒවා පමණක් මේ රට තුළ ක්‍රියාත්මක කිරීම බුද්ධිමත් නායකත්වයක පැවැත්මක් වෙනවා.
යනුවෙන්ද කාදිනල් හිමිපාණන් සිය දේශනාවේදී කියා සිටියේය.