රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (03) යළිත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද පස්වරු 01ට ඔහු ව අධිකරණයට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ වනවිට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි තෙන්නකෝන් විශේෂ ආරක්‍ෂාවක් යටතේ මාතර අධිකරණය වෙත රැගෙන යමින් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔහුගේ ආරක්‍ෂාවට ගිනි අවි සහිත බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද යොදවා ඇතැයි සඳහන්.
වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
2023 වසරේ වැලිගම W15 හෝටලය අසල සිදු වු වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් 19 දිනයේ අධිකරණයට භාරවුණේ මෝසමක් ඉදිරිපත් කරමින්ය.