මහා භාණ්ඩාගාරය පිරෙන්න මුදල් තිබෙන බව ආණ්ඩුව පැවසුවද රටේ ජනතාවට නියමිත පරිදි ගෑස් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි වෘත්තීය සමති සම්මේලනයේ කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේය.
ගෑස් හිඟය සාමාන්‍ය කර ඇති බවට අමාත්‍යවරයා පැවසුවද රට පුරා තවමත් 65%ක් හිඟයක් පවතින බවයි ඔහු සදහන් කළේ.
”මහා භාණ්ඩාගාරය පිරිලා තිබෙන බව ජාතික ජනබලවේග ආණ්ඩුවේ පිරිස ප්‍රකාශ කරනවා. නමුත් රටේ ජනතාවට නිසි පරිදී ගැස් ලබා දෙන්න නොහැකි වෙලා තිබෙනවා. කෙසේ නමුත් ගෑස් හිගයක් ඇතිවී දවස් 5 ක පමණ පසු කිසිදු ගෑස් හිගයක් රට තුළ ඇතිවීමට ඉඩ නොදෙන බව වෙළඳ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. නමුත් තවමත් රටේ සියයට 65 ක් පමණ ලිට්‍රෝ ගෑස් හිගය පවතිනවා. ඒ වගේම ලාෆ් ගෑස් සති 3 ක සිට හිඟයක් තිබෙනවා. කෙසේ නමුත් ගෑස් මෙට්‍රික්ටොන් එකකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80 කට පිරවිය හැකියි. මෙට්‍රික්ටොන් 1000 කින් පිරවිය හැක්කේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 යි. නමුත් ගෘහස්ත ගෑස් සිලින්ඩර් 1000 ත් 1500 ත් අතර ප්‍රමාණයක් බෙදන්න පුලුවන් බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් නිවෙස්වල සහ හෝටල්වල වැඩකටයුතු අකර්මන්‍ය වී තීබෙනවා. ගෑස් ප්‍රශ්නය තවමත් විසදිලා නැහැ. නමුත් දිනකට ගෑස් සිලින්ඩර් ලක්ෂ 3 ක් බෙදන බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් දිනකට ලක්ෂ 3 ක් ගෑස් බෙදීමට මෙට්‍රික්ටොන් 3200 ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පළමු නැවේ තිබෙන්නේ ගෑස් මෙට්‍රික්ටොන් 3700 යි. ඒ වගේම ඉතිරි නැව් දෙකේ ගෑස් මෙට්‍රික්ටොන් 7600 ක් පමණයි තිබෙන්නේ. කෙසේ නමුත් මාසයකට ගෑස් මෙට්‍රික්ටොන් 24,000 ක් අවශ්‍ය වෙනවා. නමුත් ගෑස් නැව් තුනේම තිබෙන්නේ ගෑස් මෙට්‍රික්ටොන් 10,600 යි.
ඒ වගේම ගෑස් අර්බුදය ඇති කළේ වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව. හොර දුෂිත ගිවිසුමක් නිසා ආණ්ඩුව ගෑස් අර්බුදයක් ඇති කළා. ඒ වගේම පසුගිය කාලයේදී රටේ ජනතාව ගෑස් පෝලිංවල සිටියේ රටේ ආර්ථිකය බංකොලොත්වී තිබු අවස්ථාවකයි. නමුත් දැන් රට බංකොලොත් නැහැ. ඒ වගේම ලෝකයේ ගෑස් හිඟයක් ඇතිවෙලත් නැහැ. ලෝකයේ ගෑස් මිල වැඩිවෙලත් නැහැ. ගෑස් සැපයුම්කරුවන් සිටයදී ආණ්ඩුවේ ගජමිතුරෙකුට ගෑස් ගෙන්වීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රධානය කර තිබෙනවා. එම සමාගමට ලංකාවට මාසයකට අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික්ටොන් 24,000 ගෙන්වීමට හැකියාවක් නැහැ. මේ බව ඇමැතිවරයා හොඳින්ම දන්නවා.
ඒ වගේම පසුගිය ආණ්ඩුවේදී වංචා දුෂණ චෝදනා එල්ල වුණ පුද්ගලයෙක් ලිට්‍රො ගෑස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ආයතනවලට දුෂිතයන් සහ වංචනිකයන් පත් කිරීම හරහා සිදුවන පාඩුව අවසානයේදී ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ රටේ අහිංසක ජනතාවට. ඒ වගේම අවලංගු අගමැතිවරයෙක් පත් කර , රාජ්‍ය පාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති පිරිසක් බලයට පැමිණිම නිසා රටේ ජනතාවට දුක්විදින්න සිදුවෙලා තිබෙනවා. කෙසේ නමුත් ජනතාව දුෂිත ආණ්ඩුවට විරුද්ධව මහ පාරට බැසිය යුතුයි. ඒ සඳහා සමගි ජනබලවේගයේ වෘත්තිය සමිති සූදානම්.‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසන ලදී.





