ආන්දෝලනයට ලක්ව තිබෙන, වෙසක් පෝදා ජනාධිපති පොදු සමාව යටතේ සුදුසුකම් රහිතව නිදහස් කළ බව කියන ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය ඊයේ (11) අනුරාධපුර අධිකරණයට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ ඔහුට තිබෙන වෙනත් නඩුවක් සම්බන්ධයෙන් පෙනී සිටීමට බවද කියැවේ. කෙසේ වෙතත් එම නඩු කටයුත්තෙන් පසු, ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් තිලකරත්න අධිකරණයට කැඳවූ අවස්ථාවේ නීතිඥයන් කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ තිලකරත්න යන අයද අධිකරණයේ සිටින බවයි. ඔහු අත ඔසවමින් අධිකරණයට එය සනාථ කළේ ය.
එහිදී බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජෙ. නීතිඥ අරවින්ද හබක්කල කියා සිටියේ, තම සේවාදායකයා මෙම රැඳවියා නිදහස් කර ඇත්තේ නීත්‍යානුකූලව බවයි. එම රැඳවියාද මෙහි පෙනී සිටීමෙන් එය තහවුරු වන බවද නීතිඥවරයා කියා සිටියේ ය. එසේ ම නීතිඥවරයා කියා සිටියේ, පැවසුවේ වෙසක් පොහොය දා ජනාධිපති පොදු සමාව ලබාදුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු නාම ලේඛනයේ ඩබ්.එම් අතුල තිලකරත්නගේ නම ඇතුලත් නොවන බව පිළිගන්නා බවය.
“ස්වාමිනී, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් නීතිමය ප්‍රතිපාදන මත තමයි මගේ සේවාදායකයා අතුල තිලකරත්න නිදහස් කිරීමට පියවර ගෙන තියෙන්නේ. මෙහිදී සිදුව ඇත්තේ, ජනාධිපති පොදු සමාව සහ ජනාධිපති විශේෂ පොදු සමාව පටලවා ගැනීමක් මෙන්ම චක්‍රලේඛය වැරදි සහගත ලෙස වටහා ගැනීමක්. එම කරුණු සැලකිල්ලට ගෙන තම සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්න.”
යනුවෙන් නීතිඥවරයා ඉල්ලා සිටි අතර, එය ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කරනු ලැබීය.
ඒ අතර ආන්දෝලනාත්මක නිදහස් කිරීමට අදාළ පුද්ගලයා වන තිලකරත්න යන අය අධිකරණ භූමියෙන් පිටව ගිය අතර කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් ඔහුට බාධා කර අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළේ ය. ඒ අතර පසුගිය දා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවයි.