දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් බහුදින ධීවර යාත්‍රාවක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
පසුගිය 20 වන දින දකුණු මුහුදු තීරයේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේ දී එහි මත්ද්‍රව්‍ය අඩංගු බවට නාවික හමුදාව විසින් සොයාගනු ලැබූ අතර එම ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (24) දිනයේ දික්ඕවිට වරාය වෙත රැගෙන ආවේය. එම යත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172ක් සොයා ගැනුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉරානයට අයත් නෞකාවකින් අදාළ ධීවර යාත්‍රාවට ලබාගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය ඇති බව පොලීසිය පවසයි. සිද්ධියට අදාළව තවත් සැකකරුවන් හයදෙනෙකු මිරිස්ස ධීවර වරායේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.





