අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් කාරණක් වූයේ පසුගිය 01 වැනිදා පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් වූ කතාවය.
මන්ත්‍රීවරයා ඉතා පැහැදිලිව පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි ආයතන මෙම බරපතල අනතුරුදායක තත්ත්වය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් කර තිබියදී අන්තිම මොහොත වෙනතුරු ජලාශවල ජලය නිදහස් කිරීමට කටයුතු නොකළ බවයි.
එම අවස්ථාවේ ඔහු ඉතාම ආවේගශීලීව පැවසුවේ කොත්මලේ එක්වරම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් ගම්පොල 1000කට වැඩි දෙනෙක් මරණයට පත්වන්නට ඇතැයි කියාය.
”කොත්මලේ ගත්තම ගම්පොළ මම හිතන්නේ 1000කට වැඩිය මැරිලා ඇති. මොකද එකපාරම ගේට්ටු ඇරියා. 12 වෙනිදා ඉඳල වතුර ටිකෙන් ටිකෙන් ටික ඇරියා නම් මේ ජීවිතවලින් 75%ක් බේරගන්න තිබුණා. ඔය ප්‍රශ්නය අපි මෙතන කතා කරල තිබුණා නම්… ඔයාල ලැජ්ජා වෙන්න එපා. වැරැද්ද ගත්තා නම් හරි දැන්වත් වැරදුණා මෙතනින් එහාට මේක නිවැරදි කරන්න රටක හැටියට එකට වැඩ කරමු. මිනිස්සුන්ට කන්න නැතුව ගෙවල්වලට යන්න බැරිව ගොඩක් තියෙනවා. ප්‍රතිපත්තිමය වැඩපිළිවෙක් හදන්න කියල අපි රජයට අවධාරණය කරනවා.” යනුවෙන් කබීර් හෂීම් මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මේ අතර ඊයේ (05) අයවැය පිළිතුරු කතාව පවත්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම කතාව සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබුණි.
”එක මන්ත්‍රීවරයෙක් කිව්වා ගම්පොල 1000ක් මැරුණා කියලා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මෙතන කිව්වට එළියට ගිහින් කිවුවොත් නඩු දානවා. එහෙම කියන්න බෑ. ගම්පොල වැඩි පිරිසක් මුස්ලිම් ප්‍රජාව ඉන්නේ. ඔවුන් හිතනවා ඔවුන්ට අඩු සැලකිල්ලක් තියෙන්නේ කියලා. ඒවාට නම් මේ නීතිය උපයෝගී කර ගන්නවා. මේ ව්‍යවසනයෙන් ගොඩඒමට අපට අවශ්‍ය වන්නේ ඉතා සාමකාමී ප්‍රවේශම්කාරී මැදිහත් වීමක්.” ලෙස ජනාධිපතිවරයා පවසන ලදී.
කෙසේවෙතත් එලෙස අසත්‍ය, ජනතාව මුලා කරන,මෙවන් ව්‍යසනයකදී රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට තුඩු දෙන ක්‍රියා සම්බන්ධයෙන් පමණක හදිසි නීතිය යටතේ ක්‍රියාත්මක වන බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
”මහජන ආරක්ෂක පනත අප කිසිසේත්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා උපයෝගී කර ගන්නේ නෑ. මාව හෝ අපේ අමාත්‍යවරු විවේචනය කිරීම අපි ගණන් ගන්නේවත් නැහැ. අවලාද අදාළම නෑ. ඒවාට සාමාන්‍ය නීතිය තියෙනවා.හැබැයි ජනතාව බිය වැද්දීමටල නොමඟ යැවීමට සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහ ව්‍යසනකාරී ප්‍රජාව තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා වන සැලැස්මට බාධාවක් නම් ඒ සඳහා පමණයි අපි මේ නීති උපයෝගී කර ගන්නේ .” යනුවෙන් ජානාධිපතිවරයා පැහැදිලිව පවසා ඇත.
මේ අතර ඊයේ (05) පාර්ලිමේන්තුවේදීද කබීර් හෂීම් මන්ත්‍රීවරයා රජය විසින් පිහිටුවා තිබෙන ආපදා අරමුදල සම්බන්ධයෙන්ද විවාදාත්මක ප්‍රකාශයක් සිදු කරන ආකාරය දක්නට ලැබුණි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය විසින් පිහිටුවා ඇති Rebuilding Sri Lanka ලෙස අරමුදල ජාවාරම්කරුවන් අතට පත්ව ඇත්ද යන සැකයක් මතුව තිබෙන බවද මන්ත්‍රීවරයා විසින් පැවසුවේය.
”ප්‍රයිවට් සෙක්ටර් එකේ අය ඩිසාස්ටර් අරමුදලක ප්‍රධානීන් හැටියට දාන්න, අපිට පොඩි සැකයක් තියෙනවා ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරන්න යනවද කියල. ආපදා කළමනාකරණය පුද්ගලීකරණය කරන්න යනවද කියන ප්‍රශ්නයක් තියෙනවා දැන්. ව්‍යාපාරිකයින්ට සල්ලි හොයල දෙන්න පුළුවන්. හැබැයි මේ අරමුදල තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඕවර්සයිට් එක යටතේ. පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නැහැ. අනුර කුමාර ජනාධිපතිතුමා 2022 විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා කෝට් කරනවා ආපදා කළමනාකරණ පනත යටතේ 17 වෙනි වගන්තියේ තියෙනවා, එතුමාම කියනවා ඒකාබද්ධ අරමුදලෙන් ව්‍යසනයකට වියදම් කරන්න මුදල් සභාවේ අරමුදලක් හරහා වියදම කරන්න පුළුවන්. එතකොට ඒක ජාවාරම් කරන්න බැහැ. එතුමා එදා එහෙම කිව්වට අද ජාවාරම්කාරයින්ටම භාර දීලා තියෙනවා. මේක කොහොමද වෙන්නේ”
කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ මෙම කතාව සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර තිබුණි.
‘‘මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා අරමුදල් වියදම් කිරීම ජාවාරම්කරුවන්ට දීලා කියලා. නැහැ. තවමත් මේ අරමුදලේ ගිණුම තිබෙන්නේ මහා භාණ්ඩාගර ලේකම්ගේ නමට. මුදල් බැර වෙන්නේ ඒකාබද්ධ අරමුදලට. මුදල් වියදම් කළ යුත්තේ පාර්ලිමේන්තුව මිස අරමුදල් එක් රැස් කිරීමේ කමිටුව නොවෙයි. හැබැයි අපි ව්‍යවස්ථාපිත අරමුදලක් හදනවා. මුදල් කළමනාකරණ පනත අනුව සිතු සිතු ලෙස අරමුදල් හදන්න බැහැ. අරමුදලක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තු පනතක් අවශ්‍ය බවට අලුත් නීතියක් ආවා. එහෙම නීති ආවේ සුනාමි අරමුදලට වූ දේ දැකලා. ඉතිහාසයේ මේ රටේ අරමුදල් ඉතා අගතිගාමී ලෙස උපයෝගී වී තිබෙනවා. මම දැක්කා නීතිය පටහැනිව අරමුදල් හදලා කියලා කියනවා. එසේ සිදුවී නැහැ. අපි අරමුදල් එක් රැස් කර ගැනීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඇතැමුන් කුරිරු ආශාවක් වෙනුවෙන් මේ අරමුදල ගැන සැකයක් නිර්මාණය කරනවා. ජාවාරම්කරුවන් සිටි න බව ප්‍රකාශ කරනවා. එහි අරමුණ මේ අරමුදල් ශක්තිමත් වෙනවට තිබෙන අකමැත්තයි. බලය පිළිබද නොනිමි ආශාවකින් ඔවුන් පෙළෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.
කුමන දේශපාලන පක්ෂයක් රටේ බලය හෙබවුවද ඒ බහුතර ජනතාවකගේ කැමැත්ත අනුවය. රජයක කාර්යහාරය සිදුවන අතර මෙවන් ස්වභාවික ආපදා හමුවේ ඇතිවන ව්‍යසනකාරී තත්ත්වයන් කළමනාකරණ කර ගැනීමට සහය දීම සමස්ත පද්ධතියේම වගකීමකි. තවදුරටත් ආරක්ෂා කරගත්ත යුත්තේ, ගොඩනගා ගත යුත්තේ විපතින් දිවි ගලවා ගත් මිනිසුන්ය. සමස්තයක් ලෙස රටය. එවන් පසුබිමක වගකීම මෙන්ම යුතුකමද පසෙක තබා ආපදා දේශපාලනය ඉස්මතුකරගැනීමට කවුරුන් හෝ වෑයම් කරන්නේ නම් එය අනුමත කළ හැකිද?





