/ Jun 02, 2025

දරුවන්ට මාර්ගය සූදානම් නොකර මාර්ගයට දරුවන් සූදානම් කරන්න!

මානව බුද්ධිය සම්බන්ධයෙන් කතා කරනවිට, බොහෝ දෙනෙකුට සිහි වන්නේ IQ (බුද්ධියේ සාම්ප්‍රදායික මිනුම) පිළිබඳව ය. එනමුදු වසර ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණ මගින් පර්යේෂකයන් මානව බුද්ධිය විහිදෙන වපසරීන් කිහිපයක් හඳුනාගෙන ඇති අතර, ඒවා “මෘදු කුසලතා – Soft Skills” වර්ධනය කර ගැනීමේ දී උපකාරී වේ.

1) බුද්ධියේ සාම්ප්‍රදායික මිනුම (Intelligence Quotient)
2) භාවාත්මක ප්‍රතිචාර මිණුම (Emotional Quotient)
3) සාමාජීය හැසිරීම් මිණුම (Social Quotient)
4) අනුවර්ත්‍යතා හැකියාවේ මිණුම (Adaptability Quotient)

  1. බුද්ධියේ සාම්ප්‍රදායික මිනුම (IQ): මෙය ඔබේ සංජානන හැකියාවේ මිනුම් දඬුව වන අතර ගණිතමය ගැටලු විසඳීමට, යම් යම් දේවල් කටපාඩම් කිරීමට සහ පාඩම් කළ දේවල් මතක තබා ගැනීමට ඔබට IQ අවශ්‍ය වේ. එය සාමාන්‍යයෙන් ස්ටැන්ෆර්ඩ්-බිනේ බුද්ධි පරිමාණය (the Stanford-Binet Intelligence Scale) හෝ වෙච්ස්ලර් වැඩිහිටි බුද්ධි පරිමාණය (the Wechsler Adult Intelligence Scale) වැනි ප්‍රමිතිගත පරීක්ෂණ මගින් මනිනු ලැබේ.

IQ ලකුණු බොහෝ විට අධ්‍යයන හා වෘත්තීය සාර්ථකත්වයේ ප්‍රමාණය හඳුනා ගැනීමට භාවිතා වන අතර ඉගෙනීමේ ආබාධ හෝ මානසික සංවර්ධන ප්‍රමාදයන් හඳුනා ගැනීමට ද භාවිතා කරයි.

ඉහළ IQ අගයක් යනු ඉහළ බුද්ධියක් ඇති බවට පැහැදිලි ලකුණක් වන නමුත් වර්තමානය වනවිට මෙම නිර්ණායකය මත පමණක් පදනම් ව සිසුන් ශ්‍රේණිගත කිරීම විවාද සම්පන්න වී තිබේ.

  1. භාවාත්මක ප්‍රතිචාර මිණුම (EQ): මෙය අන් අය සමග සාමයෙන් කටයුතු කිරීම, කාලානුරූප වීම, වගකීම් දැරීම, අවංකභාවය, සීමාවන් දැන සිටීම, නිහතමානී වීම, අව්‍යාජ වීම සහ සැළකිලිමත් ව කටයුතු කිරීම ආදියට ඇති ඔබේ හැකියාවේ මිනුම වශයෙන් හැඳින්විය හැකිය. කෙටියෙන් පවසන්නේ නම් තමන්ගේ ම හැඟීම් මෙන්ම අන් අයගේ හැඟීම් හඳුනා ගැනීමට සහ කළමනාකරණය කර ගැනීමට ඇති හැකියාව මෙමගින් අර්ථ දැක්වේ.
  2. සාමාජීය හැසිරීම් මිණුම (SQ): මෙමගින් මිතුරන් ඇති කර ගැනීමට, ඒ ඔස්සේ මිතුරු ජාලයක් ගොඩනගා ගැනීමට සහ එය දීර්ඝ කාලයක් පුරා පවත්වා ගෙන යාමට ඔබට ඇති හැකියාවේ මිනුම අර්ථ දැක්වේ.

භාවාත්මක ප්‍රතිචාර මිණුම EQ සහ සාමාජීය හැසිරීම් මිණුම SQ අතර අන්‍යෝන්‍ය සහසම්බන්ධයක් ඇති අතර මේ එකක සංවර්ධනය අනෙකේ වර්ධනයට උපකාරී වේ.

EQ සහ SQ ඉහළ අගයක් ගන්නා පුද්ගලයින්, IQ ඉහළ අගයක් ගන්නා නමුදු EQ සහ SQ අඩු අගයක් ගන්නා පුද්ගලයින්ට වඩා සාර්ථක ජයග්‍රාහී දිවිපෙවෙතක් උරුම කර ගැනීමේ අවස්ථාව ඇති බව කියැවේ. මෙරට සහ ලෝකයේ සමහර රටවල පාසල් IQ මට්ටම වැඩි කිරීම කෙරෙහි නැඹුරුවක් දක්වමින් EQ සහ SQ ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරන බවක් පෙනෙන්නට තිබුණත් IQ මට්ටම ඉහළ අගයක් ගන්නා නමුදු EQ සහ SQ අඩු අගයක් ගන්නා පුද්ගලයින් බොහෝ විට එම අගයයන් දෙක ඉහළ අගයක් ගන්නා IQ සාමාන්‍ය මට්ටමක ඇති පුද්ගලයින් යටතේ රැකියා කරනු දැකිය හැකිය.

ඔබේ භාවාත්මක ප්‍රතිචාර මිණුම EQ ඔබේ චරිතය නියෝජනය කරන අතර, ඔබේ සාමාජීය හැසිරීම් මිණුම SQ ඔබේ කැරිස්මාව, ජනකාන්ත භාවය විදහා දක්වයි. මෙම Q තුන, විශේෂයෙන් ඔබේ EQ සහ SQ වැඩි දියුණු කර ගැනීමට කටයුතු කිරීම දෛනික ජීවිතයේ පුරුද්දක් බවට පත් කර ගැනීමෙන් ඔබට සාර්ථකත්වය අත්දැකීමට මග සැළසෙනු ඇත.

  1. අනුවර්ත්‍යතා හැකියාවේ මිනුම (AQ): ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් හරහා යාමට වූ විට ඔබේ මානසික සෞඛ්‍යය සමබර ව රැකගෙන, එම අපහසු කාලයෙන් ඉවතට පැමිණීමට ඔබට ඇති හැකියාවේ මිනුම මෙමගින් අර්ථ ගැන්වේ.

අභියෝග, පසුබෑම් සහ විපත්තිවලට මුහුණ දීමට සහ ජය ගැනීමට ඔබට ඇති හැකියාව මෙහිදී සළකා බැලෙන අතර ඉහළ AQ අගයක් ඇති පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ වන අතර නව තත්වයන්ට සහ අභියෝගවලට අනුවර්තනය වීමට හැකියාව ඇත. ඔවුන්ට ධනාත්මක දෘෂ්ටියක් පවත්වා ගැනීමේ හැකියාව ඇති අතර දුෂ්කර අවස්ථාවන්හි දී පවා අධ්‍යාපන කටයුතු කර ගැනීමටත් තමන්ගේ අනෙකුත් කටයුතු සාර්ථක ව කර ගැනීමටත් හැකි වේ. ඔබ ඔබේ LinkedIn අවකාශය විමසා බැලුවහොත්, ශ්‍රේෂ්ඨ නායකයින් සහ ව්‍යවසායකයින් AQ අගය ඉහළට ගෙන පවත්වාගෙන යන ආකාරය පිළිබඳ කතා කරන අන්තර්ගතයන් හමුවිය හැකිය.

අන්තර්ජාලය විමසීමෙන් හා මේ පිළිබඳ ව ලියැවී ඇති පොත පත කියැවීමෙන් තව තවත් දැනුවත් වීමට අවස්ථාව ඔබට ඇත.

දෙමව්පියනි, ඔබේ දරුවන්ට පොතපත දැනුමට මෙන් ම වෙනත් අංශ වෙත ද යොමු වන්න මග පෙන්වන්න. ඔවුන්ට ස්වභාව සෞන්දර්යය, ශාරීරික ක්‍රියාකාරකම් (අත්වැඩ), ක්‍රීඩාව සහ කලාව වෙත බැඳුනු මිනිස් ප්‍රාණීන් වන්නට මග පෙන්වන්න. එවිට ඔවුන්, මෙහි විස්තර වන බුද්ධි ප්‍රමාණයන් ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යන, යහපත් ලෙස වර්ධිත මෘදු කුසලතාවන්ගෙන් යුත්, දෙමව්පියන්ගෙන් ස්වාධීන ව කටයුතු කළ හැකි පුරවැසියන් බවට යම් දිනෙක පත් වනු ඇත.

අවසාන වශයෙන්,

ඔබේ දරුවන් සඳහා මාර්ගය සූදානම් නොකරන්න.

ඔබේ දරුවන් මාර්ගය සඳහා සූදානම් කිරීම පිණිස කටයුතු කරන්න.

රන්දිකා රණවීර ප්‍රනාන්දු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top