/ Jun 08, 2025

බිඳී විසිරෙන ට්‍රම්ප් – මස්ක් හාදකම සහ ලොකු ලස්සන පණත!

ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ගේ මැතිවරණ ප්‍රචාරක මගෙහි දැඩි සගයෙකු ලෙසත්, අවසානයේ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) හි ප්‍රධානියා ලෙසත්, කටයුතු කළ තාක්ෂණික ධන කුවේරයෙකු වූ එලොන් මස්ක්ගේ දේශපාලන පරිණාමය මාරු වී තිබෙන බව මේ වන විට පෙනී යයි. 

ජනාධිපති ට්‍රම්ප් විසින් ඇමරිකානුවන් සඳහා වැටුප් වර්‍ග සඳහා විශාල බදු සහන ලබා දෙන නීති සම්පාදනයක් ලෙස හුවා දක්වා ඇති  “ලොකු ලස්සන පනත” (One Big Beautiful bill) ඉක්මනින් සම්මත කරන ලෙස ‘රිපබ්ලිකන්’ පක්ෂ නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටිමට එරෙහිව මස්ක් විරෝධතා දැක්වීමත් සමඟ මස්ක්ගේ ගතානුගතික සම්භවය ප්‍රසිද්ධියේ වේදිකාගතවීම, ඔහු ජනාධිපතිවරයා සමඟ ගැටීමට හේතු වී ඇත. 

ඇමරිකාවේ ධනවත්ම පුරවැසියා ලෙස සැලකෙන මස්ක්, DOGE සහ ෆෙඩරල් රජයෙන් ඉවත් වී දින කිහිපයකට පසු මෙම නීති සම්පාදනය ප්‍රසිද්ධියේ විවේචනය කලේය. “ලොකු ලස්සන පනත” දැනට ඇමරිකානු සෙනෙට් සභාවේ අවධානයට යොමුවී ඇති අතර දේශසීමා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සහ බදු අවසන් කිරීම ඇතුළු තීරණ ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට අරමුදල් සපයනු ඇත.

ට්‍රම්ප්ගේ වියදම් පනත නිසා එලොන් මස්ක් ‘කලකිරීමට’ පත්ව ඇති අතර කරන දේට බාධා කරන බව පවසයි. 

“මට කණගාටුයි, නමුත් මට තවදුරටත් එය දරාගත නොහැක,” මස්ක් අඟහරුවාදා ට්විටර් (X)හි ලිවීය.

අධික ලෙස වියදම් කිරීම අපව ‘ණය වහල්භාවයට’ ඇද දමනු ඇතැයිද එලොන් මස්ක් අනතුරු අඟවයි

පනත් කෙටුම්පතේ “අතිවිශාල මට්ටමේ අධික වියදම් ඇමරිකාව ණය වහල්භාවයට ඇද දමනු ඇතැයි” ඔහු පසුදින පැවසීය.

X හි තවත් සටහනකින් මස්ක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ “මෙම පනත් කෙටුම්පත මට කිසිදා නොපෙන්වූ බවත්, කොංග්‍රසයේ කිසිවෙකුට එය කියවීමටවත් නොහැකි තරමට වේගයෙන් රාත්‍රියේ සම්මත කරන ලද බවත්”ය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නීති සම්පාදනය හේතුවෙන් ටෙස්ලා නිර්මාතෘ පසුගිය දින කිහිපය තුළ ට්‍රම්ප් පරිපාලනය සහ රිපබ්ලිකන් පක්ෂය දැඩි ලෙස විවේචනය කර ඇත. මස්ක් එය “ලොකු කැත පනත” ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇත.

“අපගේ අයවැයෙන්, ඩොලර් බිලියන ගණනින් මුදල් ඉතිරි කර ගැනීමට ඇති පහසුම ක්‍රමය නම්, එලෝන්ගේ රජයේ සහනාධාර සහ කොන්ත්‍රාත්තු අවසන් කිරීමයි. බයිඩන් එය නොකිරීම ගැන මම සැමවිටම පුදුම වුණා!” ට්‍රම්ප්  තවත් සටහනක ලිවීය.

තමා නොසිටියේ නම් 2024 මැතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වන බව මස්ක් පවසයි.

මස්ක්ගේ රජයේ කොන්ත්‍රාත්තු අවසන් කිරීමට ට්‍රම්ප් කළ යෝජනාව දැනගත් පසු , “මගේ රජයේ කොන්ත්‍රාත්තු අවලංගු කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින්, @SpaceX එහි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය වහාම ඉවත් කිරීම ආරම්භ කරනු ඇත,” මස්ක් ලිවීය.

ට්‍රම්ප්ගේ තීරුබදු “මේ වසරේ දෙවන භාගයේදී ආර්ථිකයට අවපාතයක් ඇති කරනු ඇතැයි” මස්ක් පවසයි.

ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු වෙනුවට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පත් කළ යුතුද යන්න පිළිබඳ සටහනකට ප්‍රතිචාර වශයෙන් මස්ක් “ඔව්” යනුවෙන් ලිවීය.

මෙම පනත සම්මත කිරීමෙන් ණය සීමාව ඩොලර් ට්‍රිලියන 5 කින් වැඩි වනු ඇතැයි සෙනෙට් සභික රැන්ඩ් පෝල් සඳුදා පැවසූ අතර, පනත් කෙටුම්පත ගතානුගතික අදහස්වලට බාධා කරන “භයානක අදහසක්” ලෙස හැඳින්වීය. 

ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය දැනට ඩොලර් ට්‍රිලියන 36 ක් පමණ වේ. ස්වාධීන රජයේ ආයතනයක් වන කොංග්‍රස් අයවැය කාර්යාලය ජුනි මාසයේ වාර්තාවක් ප්‍රකාශයට පත් කළේ, මෙම පනත් කෙටුම්පත ඉදිරි දශකය පුරාවට හිඟය තවත් ඩොලර් ට්‍රිලියන 2.4 කින් වැඩි කරන බවයි. “බදු කප්පාදු ස්ථිර වීමට මට අවශ්‍යයි. නමුත් ඒ සමඟම, ණය සීමාව ට්‍රිලියන පහක් වැඩි කිරීමට මට අවශ්‍ය නැහැ,” රැන්ඩ් පෝල් පසුගිය ඉරිදා පැවසීය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අඟහරුවාදා කියා සිටියේ, පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මස්ක්ගේ අදහස් ට්‍රම්ප් දන්නා නමුත්, නීති සම්පාදනයට තවමත් ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතිය ඇති බවයි.

“මෙම පනත සම්බන්ධයෙන් එලොන් මස්ක් සිටියේ කොතැනද යන්න ජනාධිපතිවරයා දැනටමත් දනී” ලෙවිට් පැවසීය. “එය ජනාධිපතිවරයාගේ මතය වෙනස් නොකරයි. මෙය “එක් විශාල ලස්සන පනතක්” වන අතර ඔහු එයට සම්බන්ධව සිටී” යි තවදුරටත් කීය.

හිටපු DOGE නායකයාගේ නීති සම්පාදනයට ඇති විරෝධතා ගැන “පුදුමයට පත් වූ” බව බදාදා ප්‍රකාශ කළ කොන්ග්‍රස් කතානායක මයික් ජොන්සන්ගෙන් ද එලොන් මස්ක් විවේචනයට ලක්ව ඇත. රිපබ්ලිකන් නීති සම්පාදකයා පැවසුවේ, ඔහු තම “මිතුරෙකු” ලෙස සලකන මස්ක් සමග සඳුදා පනත් කෙටුම්පත පිළිබඳව “විශිෂ්ට සංවාදයක්” පැවැත්වූ බවයි. ජොන්සන් බදාදා වාර්තාකරුවන්ට පැවසුවේ මස්ක් නීති සම්පාදනය සම්බන්ධයෙන් “සම්පූර්ණයෙන්ම වැරදි” බවයි.

ධවල මන්දිර නිලධාරියෙක් පැවසා සිටියේ, මස්ක් සහ ට්‍රම්ප් ඓතිහාසිකව දේශපාලන කාරණා සම්බන්ධයෙන් එකිනෙකාට මුහුණට මුහුණ කතාකර ඇති බවත්, මස්ක් – පරිපාලනය තුළ වැඩකළ දා සිට ඔවුන් බොහෝ දේශපාලන අදහස් බෙදා ගන්නා ලද බවත්ය. 

බ්‍රහස්පතින්දා පැවති හමුවකදී ධවල මන්දිර, ඕවල් කාර්යාලයේ සිට මස්ක්ගේ විවේචන ගැන ප්‍රසිද්ධියේ කතා කළ ට්‍රම්ප්, මස්ක්ගේ තරවටු කිරීම් ගැන තමා “කලකිරීමට” පත් වූ බව සඳහන් කළේය.

“මට හරිම කලකිරීමක් තියෙනවා, මොකද, එලොන් මේ පනතේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය මෙතන ඉඳගෙන ඉන්න ඕනෑම කෙනෙකුට වඩා හොඳින් දැනගෙන හිටියා. ඔයාලට වඩා හොඳින්” යැයි ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී පැවසීය. “ඔහු ඒ ගැන සියල්ල දැන සිටියා. ඔහුට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හදිසියේම ඔහුට ගැටලුවක් ඇති වුණා, අපිට විදුලි වාහන (EV) බලපත්‍රය කපා හැරීමට සිදුවන බව දැනගත් විට පමණක් ඔහු ගැටලුව වර්ධනය කළා. මොකද ඒක ඩොලර් බිලියන ගණනක් වන අතර එය ඇත්තෙන්ම අසාධාරණයි.”

“එලොන් සහ මම අතර හොඳ සම්බන්ධතාවයක් තිබුණා,” ට්‍රම්ප් තවදුරටත් පැවසීය. “අපි ඉදිරියටත් එසේ වේවිද කියලා මම දන්නේ නැහැ.” 

විශේෂ රජයේ සේවකයෙකු ලෙස DOGE හි මස්ක්ගේ නායකත්වය ගත කළ කාලය, දින 130 ගෙවී යාමත් සමඟ මැයි 28 වන දින නිල වශයෙන් අවසන් විය. එම භූමිකාවේ සිටියදී, රජයේ වැඩසටහන් කපා හැරීම සහ රැකියා වලින් සමූහ දොට්ට දැමීම් ඇතුළුව රජය පුරා ෆෙඩරල් දෙපාර්තමේන්තු සහ ආයතනවලින් වංචා, දූෂණය සහ අධික වියදම් ඉවත් කිරීමට මස්ක් මෙහෙයවූ බැවින්, ඔහු ලිබරල්වාදීන්ගේ කෝපයට හා පොදු ඉලක්කයක් බවට පත්විය. 

සමස්තයක් වශයෙන්, රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ප්‍රදාන හෝ කොන්ත්‍රාත් අවලංගු කිරීම්, ශ්‍රම බලකාය අඩු කිරීම් හෝ වංචා මුලිනුපුටා දැමීම වැනි කටයුතු හරහා ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 180 ක් එයින් ඉතිරි කර ඇති බව ප්‍රචාරය කරයි. “ඩොලර් බිලියන ගණනක දීමනාවල සිට දේශපාලනඥයින් සඳහා සුභසාධනය සහ ට්‍රිලියන ගණනක අපයෝජන අරමුදල් දක්වා, මේ දශකය පුරා සිදු කරන ලද පරීක්ෂණ මගින් විශ්වාස කළ නොහැකි තරම් පිස්සු අපයෝජන මට්ටම් හෙළිදරව් වී තිබේ.” බවද සඳහන් වේ.

ටෙස්ලා(Tesla) සහ ස්පේස් එක්ස්(spaceX) පිටුපස සිටි තාක්ෂණික බිලියනපති මස්ක්, කලින් තමන්ව ප්‍රජාතන්ත්‍රවාදියෙකු සහ මධ්‍යස්ථවාදියෙකු ලෙස හැඳින්වූ අතර, ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයට සහ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීමත් සමඟ, දේශපාලනිකව දක්ෂිණාංශිකයෙකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. 

2024 ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේදී ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයට මුහුණ දීමෙන් පසුව, මස්ක්, ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය සඳහා සහාය දැක්වීය. පසුව ඔහු ප්‍රධාන මැතිවරණ සටන් පැවති ප්‍රාන්තවල ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන ප්‍රචාරක ව්‍යාපාර හරහා දේශපාලන සටනට එක් විය. 

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට පෙර, මස්ක් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී චෝදනා කළේ ෆෙඩරල් රජය අධික වියදම් සහ රතු පටිවලින් පිරී ඇති බවත්, එය පෞද්ගලික අංශයේ නවෝත්පාදනයන්ට බාධාවක් බවත්ය. 

මස්ක්ගේ දේශපාලන පරිණාමය, විශේෂයෙන් මූල්‍ය ගැටලු සම්බන්ධයෙන්, 2018 දී ට්විටර් X හි තාක්ෂණික අධිපතියා ලෙස “සැබෑ සමාජවාදය සැමට ශ්‍රේෂ්ඨතම යහපත අපේක්ෂා කරයි” යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව සිදුවිය. “සමාජීය වශයෙන්” ඔහු “ඉතා ලිබරල්” බවත්, “ආර්ථික වශයෙන් සමහර විට මධ්‍යම” බවත් වෙනුවෙන් ඔහු 2020 දී පෙනී සිටිය බව “නිව් යෝර්ක් ටයිම්ස්” මීට පෙර වාර්තා කළේය. 

මෑත දිනවල “ලොකු ලස්සන පනත” විවේචනය කිරීමට අමතරව, මස්ක් නිදහස් වෙළඳපොල පිලිබඳව  මිල්ටන් ෆ්‍රීඩ්මන් සහ ගතානුගතික ආර්ථික විද්‍යාඥ තෝමස් සොවෙල් සමරමින් ට්විටර්X හී පණිවුඩ පළකර තිබේ. 

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්ති අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කරන විට, පැන්සලක් තරම් සරල අයිතමයක් ලොව පුරා නිදහස් වෙළඳපොල, ආර්ථිකයේ සහ සැපයුම් දාමවල ප්‍රතිඵලයක් බව ෆ්‍රීඩ්මන් පැහැදිලි කරන වීඩියෝ පටයක් මස්ක් පළ කළේය.

“නිදහස් වෙළඳපොළේ ක්‍රියාකාරිත්වය, ඉතා අත්‍යවශ්‍ය වන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමට පමණක් නොව, ඊටත් වඩා ලෝක ජනතාව අතර සමගිය සහ සාමය වර්ධනය කිරීමට”යි ඔහු පැවසීය. 

මස්ක්, මෑතකදී එක්සත් ජනපදයේ වහල්භාවයේ ඉතිහාසය පිළිබඳ සොවෙල්ගේ උපුටා දැක්වීම් ද පළකලේය. 

ට්‍රම්ප් බදු පනත පිළිබඳ එලොන් මස්ක්ගේ විවේචනය කොංග්‍රසය තුළ සමහර රිපබ්ලිකන්වාදීන් කලකිරීමට පත් කර ඇත. මේ අතර, මස්ක් සමඟ සහයෝගීතාව පළ කළ රිපබ්ලිකන්වරුන් කිහිප දෙනෙක්, ඇමරිකානුවන් “ඉක්මනින් ණය වහලුන් බවට පත්වෙමින් සිටින” බව ගැන මස්ක් සැලකිලිමත් වීම නිවැරදි බව පැවසීය.

ට්‍රම්ප් හා මස්ක් සංග්‍රාමය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී මුදල් බලය, පාලනයට අතපෙවීම සිද්ධවෙන ආකාරය ලොව බලගතු රටෙන්ම ලැබෙන හොඳම සාක්ෂියකි.

මස්ක්ගේ නික්ම යාමෙන් පසුවත්, ජනවාරි මාසයේදී ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව, පිහිටුවන ලද DOGE සංවිධානය තවමත් ක්‍රියාත්මක වේ. එය 2026 ජූලි 4 වන දින විසුරුවා හැරීමට නියමිතය. 

දැන් ට්‍රම්ප්ගේ ‘විශාල ලස්සන පනත්’ කෙටුම්පත කොන්ග්‍රස් සභාව විසින් සම්මත කර ඇති බැවින්, ජූලි 4 වන දින අවසන් දිනය සපුරාලීම සෙනෙට් සභාවට භාර වී ඇත.

ඇමරිකානු මාධ්‍ය වාර්තාවලින් සකස්කලේ,

ජයන්ත වැලිවිට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top