/ Nov 13, 2025

ඉන්දියාවේ පිපිරීම:මිය ගිය ගණන වැඩි වෙද්දී ප්‍රහාරය ගැන තොරතුරු රැසක් එළියට!

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු වූ පිපිරිම ත්‍රස්ත ප්‍රහාරයක් බව හඳුනා ගෙන ඇතැයි ඉන්දීය ම,මාධ්‍ය වාර්තා කරයි.

මෝටර් රථයක් තුළ සිදුවූ එම ප්‍රබල පිපිරීමෙන් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 20කට පමණ තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර තිබුණු අතර මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ් බව හඳුනාගෙන තිබේ. ඔහුගේ ඡායාරූපයක්ද මුදා හැර ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සිදුවීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව ජම්මු – කාශ්මීරයේ සහ හර්යානා පොලිස් කණ්ඩායම් විසින් ඊයේ (10) ත්‍රස්ත කණ්ඩායමක සගයන් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඒ ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේය.

එලෙස අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ඔගෙන් ලද තොරතුරු අනුව නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ පොලීසිය සොයා ගෙන ඇත.

මෙම අනාවරණයෙන් පසු ත්‍රස්ත කණ්ඩායමේ තවත් සගයෙකු වූ බෝම්බකරු (රතු බලකොටුව අසල පිපිරීමට සම්බන්ධ) භීතියට පත්වීමෙන් එම පිපිරීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

කෙසේවෙතත් එම ත්‍රස්ත ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඉන්දීය ආරක්ෂක සේවා මේ වන විට සමත් වී තිබීම සුවිශේෂී දෙයක් ලෙසයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

ප්‍රහාරය සිදු කිරීම සඳහා බෝම්බකරු ඇමෝනියම් නයිට්‍රේට් ඉන්ධන තෙල් භාවිතා කර ඇති අතර මෝටර් රථය තුළ ඩෙටනේටරයක් ​​සවි කර තිබී ඇති බවට ද හෙළි වී ඇත.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදී පැවසුවේ කිසිලෙසකින් එහි කුමන්ත්‍රණකරුවන්ට ගැලවීමට අවස්ථාවක් නොදෙන අතර වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බවයි.

ප්‍රහාරය එල්ල වන විට අගමැතිවරයා භූතානයේ දින දෙකක නිල සංචාරයකට එක්ව සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top