/ Jan 11, 2026

සිනමා ශාලා පිරී ඉතිරෙයි : චමින්ද ජයසූරියගේ ෆාදර් රජ ගමනක!

2025 වසර ශ්‍රී ලංකා සිනමාවට ඉතා හොඳ වසරක් වූ අතර සිනමා කර්මාන්තයට සුබ ලකුණක් පෙන්වමින් ශ්‍රී ලාංකේය සිනමාපට කිහිපයක්ම ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුයේ ය. 2026 වසර ආරම්භයද මෙරට සිනමාවට හොඳ කලක් ලබන බව පවසන ලකුණු පෙන්වමින් චමින්ද ජයසූරියගේ මංගල සිනමා අධ්‍යක්ෂණය ෆාදර් සිනමාශාලා හවුස්ෆුල් වෙමින් ප්‍රදර්ශනය වීම අරඹා තිබේ.

ෆාදර් සිනමාපටය මෙරට 1970 – 1990 කාලය තුළ සිදු වූ සත්‍ය සිදුවීම් ගණනාවක් පාදක කර ගනිමින් නිර්මාණය කර ඇත. රාජ්‍ය මර්දනකාරීත්වය, යුක්තිය පිළිබඳ සිහිනය, වාර්ගික කෝලාහලයේ සිදුවීම් වැනි ප්‍රස්තුත මෙහි දක්නට ඇත. මෑත කාලයේ මෙරට සිනමාපටයක නොදුටු තරම් නළු – නිළි කැළක් මේ සඳහා එක් කරගෙන ඇත. මුළු නළු-නිළි පිරිස 100කට අධික ප්‍රමාණයකි. සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි. පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න සහ සේවියර් කණිෂ්ක, ඇතුළු තවත් ප්‍රකට පිරිසක් මේ අතර වෙති.

පසුගිය ජනවාරි 8 වැනිදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් ෆාදර් මංගල දර්ශනය පැවැත්වුණු අතර ඊට මෙරට ජනප්‍රිය නළු නිළියන් ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් සහභාගි වූහ. පළමුවරට ස්වර්ණ ප්‍රවේශපත්‍ර හරහා මංගල දර්ශනයකට සහභාගි වීමට රසික ජනතාවට ද ඉඩකඩ ලැබීම මෙහි විශේෂත්වයකි.

මේ වන විට ෆාදර් සිනමාපටය දිවයින පුරා සිනමාශාලා විශාල සංඛ්‍යාවක තිරගත වන අතර ඊයේ වන විට,

ගම්පහ රීගල්, කටුබැද්ද රීගල්, ඇමිටි ලයිට් මහරගම, ස්කෝප් සිනමා හැව්ලොක් සිටි යන සිනමාශාලාවන්හි දර්ශන වාර 7ක් හවුස්ෆුල් බව වාර්තා විය. අද (11) දින ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන සිනමාදර්ශනයේද සියලු ටිකට්පත් විකිණී අවසන් බව දැනගන්නට ඇත.

ෆාදර් සිනමාපටය බෙහෝ ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වනු ඇති බවට ක්ෂේත්‍රයේ අදහස් පළ වෙමින් තිබේ.

ෆාදර් කැමරා අධ්‍යක්ෂණය සම්මානනීය කැමරා අධ්‍යක්ෂ විශ්වජිත් කරුණාරත්නගෙන් වන අතර, සංස්කරණය සම්මානනීය සංස්කරණ ශිල්පී සිතුම් සමරජීවගෙනි. වර්ණ සංයෝජනය සම්මානනීය වර්ණ සංයෝජක ආනන්ද බණ්ඩාරගෙනි. සංගීතය සම්මානනීය සංගීත අධ්‍යක්ෂ චින්තක ජයකොඩිගෙනි.

ෆාදර් එමිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ආචාර්ය ශාන්ත ගීතදේව නිෂ්පාදනයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top