/ Jul 03, 2025

රත්නපුර පළමු මත්කුඩු ඝාතනය : පොලිසියට එරෙහිව චෝදනා!

පසුගිය 30 වැනි දින කහවත්ත නගරයට නුදුරු පළන්සූරිය ගම තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර ඉන් 22 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත් විය.

මත්කුඩු සිද්ධියකට අදාළව රත්නපුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වූ පළමු ඝාතනය මෙය බව කියැවේ. කෙසේ වෙතත්, මේ වන විට කහවත්ත පොලිසියේ ස්ථාධිපතිවරයා යාපනයේ සාමාන්‍ය රාජකාරීවලට මාරු කර යවා ඇත්තේ විමර්ශනවල පහසුව පිණිස යැ යි පවසමිනි.

මිය ගිය තරුණයා පහළගම විතානලාගේ ඉමන්ත සුරංජන නම් අයෙකු වන අතර මෙයට වසරකට පෙර ඩුබායි වෙත ගොස් ඇති මීගොඩ අමිත් නමැති අය සමග මේ පවුල හිතවත්ව සිට ඇති නමුත් පසුව විරසකව ඇතැයි කියැවේ. ප්‍රදේශයේ මත් ජාවාරම සිය ගෝලයන් ලවා මෙහෙයවන්නේ මීගොඩ අමිත් නම් අය බවයි හෙළිව තිබේ.

මෙම කටයුතු නවත්වන ලෙස ගම්වාසීන් සහ මියගිය ඉමන්තද වෙඩි කෑ ඔහුගේ සොහොයුරාද මෙම පිරිසට පවසා ඇති අතර මෙම මත් ජාලයේ කිහිප දෙනෙකු පසුගිය දා කහවත්ත පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේ වෙතත්, මේ සිද්ධියට පෙර වට්ස්ඇප් හරහා ගමේ කිහිප දෙනෙකුටම මරණ තර්ජන කිරීමටද අමිත්ලාගේ මත් ජාලය කටයුතු කර ඇති බව කියයි.

පොලිසිය ලෙස සඳහන් කරමින් ආයුද අත දරා පැමිණි කණ්ඩායමක් තරුණයන් දෙදෙනා පැහැරගෙන ගොස් වෙඩි තබා නිරුපද්‍රිතව පළා ගොස් තිබේ.

මිය ගිය තරුණයාගේ මව ඇතුළු පිරිස පොලිසියට චෝදනා කරන්නේ, ඔවුන් නිවැරදිව ක්‍රියාත්මක වූයේ නම් මෙම මරණ සිදු නොවෙන බවයි. තරුණයා මත්කුඩු ජාවාරමට කිසිම සම්බන්ධයක් නැති එයට එරෙහි වූවෙකු බවයි කරුණු සඳහන් වන්නේ.

එසේ ම ඝාතකයන් පිරිස භාවිතා කළ මාංචු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුවන අතර පොලිසියට එල්ල වෙන චෝදනා පදනම් විරහිත බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top