ඩීසල් සහ පෙට්‍රල් වැඩි කිරීම හරහා ආණ්ඩුව ජනතාවගේ මුදල් මංකොල්ල කෑමක් සිදුකර තිබෙන බවට සමඟි ජන බලවේගය චෝදනා කළේය.
අද (10) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසුවේ තෙල් සංචිත රට තුළ ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණු තත්ත්වයක මිල වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.
” රට තුළ දින 26 කට සරිලන පරිදි පෙට්ට්‍රල් තොග තිබෙන බවත් දින 30 ක පමණ ආසන්න කාලයකට අවශ්‍ය ඩීසල් තොග තිබෙන බවත් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ නිසා අනිසි බියක් ඇතිකරගත යුතු නැතැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරනු ලැබුවා. රට තුළ පෙට්ට්‍රල් සහ ඩීසල් තොග තිබෙන බව ප්‍රකාශ කර තිබියදී ඊයේ මධ්‍යම රාත්‍රීයේදී ඉන්ධන මිල වැඩි කරන්න ජාතික ජනබලවේග රජය කටයුතු කර තිබුණා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් , ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්, වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඩීසල් සහ පෙට්ට්‍රල් වැඩි කිරීම හරහා ආණ්ඩුව ජනතාවගේ මුදල් මංකොල්ල කෑමක් සිදුකර තිබෙනවා.
”ඒ වගේම ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට අඩුවී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී ලංකාවේ ආණ්ඩුව ඉන්ධන මිලදි ගත්තා නම් එම ඉන්ධන තොග ඊයේ දිනයේදී ලංකාවට ලැබෙන්නේ නැහැ. ඒ අනුව පරණ ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල ගණන් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජනතාවගේ මුදල් මංකොල්ල කන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුවට ලැබෙන අති විශාල ලාභයක් ලැබෙනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි කිරීම හරහා භාණ්ඩ හා සේවාවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ හරහාත් ලංකාවට විශාල ලාභයක් ලැබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුවේ සිටින්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදිභාවයක් නැති පිරිසක්. කෙසේ නමුත් අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.





