/ Jan 09, 2026

ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් අගමැතිට විරුද්ධයි. ඒත් ඒ වෙනුවෙන් පෙනී හිටින්න ශක්තියක් නැහැ – සජබ කාවින්ද

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධ කරුණ මුල්කරගනිමින් අගමැතිනියට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව නිවැරදි බව ආණ්ඩුවේම මන්ත්‍රීවරු ප්‍රකාශ කරන නමුත් ඔවුන්ට ඒ වෙනුවෙන් පෙනී සිටීමට ශක්තියක් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

කෙසේවෙතත් අධ්‍යාපනය සම්බන්ධ ජනතාවගේ අවබෝධය වැඩි කිරීමට මෙම විශ්වසභංග යෝජනාව හරහා කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව යුතුකම් දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙයට අත්සන් තැබිය යුතු බවද ඔහු කියා සිටියි.

”අගමැතිනියට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න ආණ්ඩුව උත්සහ කරයි. නමුත් ඒ පරාජයට පත් කරන්නේ දරුවන්ගේ අනාගතයයි. මෙම ප්‍රශ්නය පිටු ගලවලා , කොල ඉරලා කරන්න පුලුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. රටේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි තිබෙන බලාපොරොත්තු වලටයි ආණ්ඩුව මේ පහර එල්ල කරන්නේ. රටේ දරුවන්ගේ දෑස් අන්ධ කළ හරිනි අමරසුරිය අගැමැතිවරිය ඉතිහාසගත වෙනවා. දරුවන්ගේ පෙළ පොතට සමලිංගිකත්වය එකතු කළා නම් ඒ පිළිබඳව අපක්ෂපාති පරික්ෂණයක් සිදුකරන්න එතුමිය ඉල්ලා අස්වෙන්නේ නැතිනම් මෙම වරදේ වගකිම ඇය භාර ගත යුතුයි. ඒ වගේම ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනියට අමාත්‍ය මණ්ඩලය පිළිබඳව වගකීමක් තිබෙනවා. අගමැතිනිය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. ඇය ඉල්ලා අස්වුණොත් සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුයි. එවැනි කොන්දක් වර්තමාන ආණ්ඩුවට නැහැ. ඒ නිසා අවම වශයෙන් අධ්‍යාපන ඇමැතිධුරයෙන් අගමැතිනියට ඉල්ලා අස්වෙන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම යුතුකම් දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ යුතුයි.

ඒ වගේම අගමැතිනියට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව නිවැරදි දෙයක් බව ආණ්ඩු පාර්ශ්වයේම මන්ත්‍රිවරු ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්න ශක්තියක් නැහැ. නමුත් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ අවබෝධය වැඩි කරන්න මෙම විශ්වාසභංග යෝජනාව හරහා කටයුතු කරනවා. ඒ වගේම රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ආරක්ෂා කිරිමේ එක් අරමුණක් බවට මෙම විශ්වාසභංග යෝජනාව පත් කරන්න විපක්ෂය කටයුතු කරනු ලබනවා. මෙම විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් අධ්‍යාපනය සම්බන්ධ කරුණු කාරණා රටට හෙළි කරලා අපේ යුතුකම වගකිම රට වෙනුවෙන් ඉටු කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම අකාර්යක්ෂම දුර්වල අධ්‍යාපන ඇමැතිවරියගේ ක්‍රියාවන් රටට හෙළි කරන්නයි කටයුතු කරනු ලබන්නේ. අපි විශ්වාසභංගයෙන් බලාපොරොත්තු වෙන්නේ රටට තොරතුරු අනාවරණය කිරීමයි.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top