අභාවප්‍රාප්ත ප්‍රවීණ පාපැදි ශූර ඒ. එම්. සුමනවීර වෙත අවසන් ගෟරවය දැක්වීම සඳහා චම්පා ජානකී රාජරත්න සබරගමු පළාත් ආණ්ඩුකාරතුමිය ඊයේ (30) නිවිතිගල පිහිටි නිවස වෙත ගොස් තිබුණි.
සුමනවීර කලක් මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ දිදුලන නමක් ලෙස වැජඹුණේ පාපැදි ශූරයෙක් ලෙසිනි.
වර්ෂ 1948 අප්‍රේල් මස 19 වන දින මාතර මිරිස්සේ දී ජන්ම ලාභය ලැබූ ඒ. එම්. සුමනවීරයන් සිය පියාගේ අවෑමෙන් රත්නපුර දෑල වෙත සිය මව් සහ සහෝදර සහෝදරියන් සමග පැමිණෙන්නේ ඔහුට වයස අවුරුදු හය සම්පූර්ණ වූ විටදීය.
ඉන් ඉක්බිති වූ දෑල පිහිටි සිය පියාගේ ව්‍යාපාර කටයුතු සිය දෙවුර මතට ගෙන සුමනවීරයන් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් පෝෂණය කර උස් මහත් කිරීමට සුමනවීරයන්ගේ මව සමත් විය.
රත්නපුර දෑල සුමන මහා විද්‍යාලයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා සිය අධ්‍යාපනය සාර්ථකව නිමා කළ ඔහු පා පැදි තරග සදහා එක් විය.
ඒ ඔහුට වයස අවුරුදු 15කදී වැනි වයසක දී වීම විශේෂත්වයකි.
තම මව විසින් පාසල් යන්නට ලබා දෙන ශත 25ක මුදල පාගමනින්ම ගොස් එකතු කල සුමනවීර සිසුවා රුපියල් 25 කට පා පැදියක් මිලට ගෙන ඔහුගේ මුල්ම ගුරුවරයා වූ ටී. කේ. රණවීර සමග පා පැදි පුහුණුවට එක් විය.
සිය අධ්‍යාපනයට සමු දී පාපැදිය හරහා රටවටා ගමන් කොට සුවිශේෂී පරිචයක් ලත් සුමනවීර සිය ප්‍රථම තරගයේ දී ගුරුවරයා අභිබවා ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරනු ලැබීය. ඉන් අනතුරුව ජාතික තරඟ රැසකට එක් වූ හෙතෙම සිය නම පා පැදි ක්‍රීඩාවේ රන් අකුරින් සනිටුහන් කළේ ය.
ඔහු පා පැදි තරග 1,000ක් නිමකල ක්‍රීඩකයෙක් ලෙස ඉතිහාසගතව සිටී.
තෙල් සංස්ථාවේ රැකියාව කළ ඔහු රාජකාරිය සඳහා නිවිතිගල සිට කොලොන්නාව දක්වා සිය පා පැදියෙන් ගමන් කළ ඔහු විධිමත් වාර්තා අභිබවා තබා සැඟවුණු දක්ෂතා පෙන්වා සිටියේ ය.
සිය 77 වසරක දිවිය තුළ සිය ගමන් සගයා වූ පාපැදිය කිසිදා අත්හළේ නැත. දරුවන් පස්දෙනා අතරින් සිව් දෙනෙකුම පියා මෙන් පාපැදි ක්‍රීඩාවට සම්බන්ධ වීම විශේෂත්වයකි.