/ Jun 01, 2025

‘හරක් කටා’ ලෙඩින්; අධිකරණයෙන් නියෝගයක්

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තාට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කර තිබේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘හරක් කටා’ මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටී.

සැකකරු සම්බන්ධ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී තමා දීර්ඝ කාලයක සිට රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව කියා සිටියේය.

එහිදී විත්තිකාර ‘හරක් කටා’ විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ තමාට අර්ශස් ඇතුළු රෝගාබාධ කිහිපයක් ඇති බවත් තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණිය ද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත්ය.

ඒ අනුව තමාට වෛද්‍ය නිර්දේශ අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියේය.

ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය දී ‘හරක් කටා’ නමැති විත්තිකරු පලායාමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 22ක් යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව ලබන 28 වැනිදා කැඳවීමට නියම වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top