නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ මෝදර මාදම්පිටිය හේනමුල්ලේ රන්දිය උල්පත නිවාස සංකීර්ණයේ පිටත බිත්තියකින් කඩා වැටුණු සිමෙන්ති බදාමයක කොටසක් හිසට කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවර බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදුකරන ලදී.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ එවැනි නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ ඉදිකෙරී ඇති නිවාස ව්‍යාපෘති වල බොහෝ ගැටළු පවතින බවයි.
ඉතා සංවේදීව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම දරුවාගේ මරණය වෙනුවෙන් වන්දියක් දිය හැකි වුවද එය එම දරුවාගේ ජීවිතයට සම කළ නොහැකි බවයි. ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් වත්මන් අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක මහතා එම පවුලෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසුවේය.
”මතට ඇබ්බැහි වූ අය විසින් විදුලි සෝපානවල කැබලි ගලවනවා. ලයිට් ආදිය ගලවා දමනවා. මේවායේ ජීවත්වන්නේ මිනිසුන් බව නොසිතා කළ ඉදිකිරීම් නිසා ආපදාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. අප අමාත්‍යාංශය භාර ගත් පසුව අත්‍යවශ්‍ය නාගරික නිවාස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 325 ක් වෙන් කර තිබෙනවා. අඩු ආදායම් ලාභීන් මිනිසුන්ට ගෙයක් හදලා දීලා ඔහේ අත හැර දාලා තිබෙනවා. පහසුකම් නැහැ. පුළුවන් නම් ඉඳපන් කියලා ගෙවල් විතරක් දීලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ සම්පත් බෙදී යාම සහමුලින්ම වෙනස් කළ යුතුයි. මිනිසුන් ගැන තෙතමනයෙන් වැඩ කරන සංස්කෘතියක් නාගරික සංවර්ධන අධිකාරියේ නැහැ” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.
මහල් නිවාස සංකීර්ණය අසල සෙල්ලම් කරමින් සිටියදී එක්වරම එම සිමෙන්ති බදාම තට්ටුව දරුවාගේ හිස මතට කඩා වැටී ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
කෙසේවෙතත් අද (05) අලුයම් කාලයේදී එම දරුවා මියගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





