වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ තමන්ට හිමි නොබෙල් සාම ත්‍යාගය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමා තිබේ.
ඊයේ (15) දින ධවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් හමුවූ අවස්ථාවේ එම පිරිනැමීම සිදුකෙරුණි.
“මම හිතන්නේ අද වෙනිසියුලානු ජාතිකයන් වන අපට ඓතිහාසික දිනයක්,” ඇය ට්‍රම්ප් හමුවීමෙන් පසු පැවසුවාය.
එය ඔවුන් දෙදෙනා පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාවයි.
එම සිදුවීමට ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනකින් සිය කෘතඥතාව පළ කළේ මෙම පියවර “අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු ඉරියව්වක්” බව පවසමිනි.
කෙසේවෙතත් මචාඩෝව වෙනිසියුලාවේ නව නායකයා ලෙස අනුමත කිරීම පිළිනොගනිමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා
ඒ වෙනුවට වෙනිසියුලාවේ වැඩබලන රාජ්‍ය නායකයා වන මදුරෝගේ හිටපු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් සමඟ කටයුතු කරමින් සිටියි.
නමුත් ඔහු පැවසුවේ මචාඩෝ හමුවීම “මහා ගෞරවයක්” බවත්, ඇය “බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්” ලෙස හඳුන්වන බවත්ය.
ධවල මන්දිරයෙන් පිටව ගිය පසු, මචාඩෝ පිටත ගේට්ටු අසල රැස්ව සිටි ආධාරකරුවන්ට කතා කරමින් ස්පාඤ්ඤ භාෂාවෙන් ඔවුන්ට පවසා තිබුණේ : “අපට ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.” යන්නයි.
“මම එක්සත් ජනපද ජනාධිපතිවරයාට නොබෙල් සාම ත්‍යාගයේ පදක්කම ප්‍රදානය කළෙමි,” මචාඩෝ පසුව ඉංග්‍රීසියෙන් මාධ්‍යවේදීන්ට පවසා ඇත. එය “අපගේ නිදහස සමඟ ඔහුගේ අද්විතීය කැපවීම සඳහා පිළිගැනීමක්” ලෙස ඇය හඳුන්වා තිබේ.




