/ Jun 18, 2025

ආණ්ඩුවට බරක් වූ සැප වාහන වෙන්දේසි වූ හැටි; විශාල ඉල්ලුමක්

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවිකිරීමේ දෙවන අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය ඊයේ (15) දිනයේ දී පැවැත්විණි.

හිටපු මැතිඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන 26ක් එහි දී වෙන්දේසි කර තිබුණි.

BMW මෝටර් රථයක්, Ford Everest රථ 02ක්, Hyundai Terracan රථයක්, Land Rover Discovery රථ 02ක්, Mitsubishi Montero රථයක්, Nissan පෙට්‍රල් රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථයක්, SsangYong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, Land Cruiser Sahara වර්ගයේ රථයක්, V 08 රථ 06ක් සහ Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් ඊයේ වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ඉන් වාහන 17ක්ම ඊයේ දිනයේ දී අලෙවි වූ බවයි.

මෙම වාහන මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් 108 දෙනෙකු පමණ එක්ව ඇති අතර, ඒ හේතුවෙන් වාහන සඳහා විශාල ඉල්ලුමක් ඇති වූ බව වාර්තා වේ.

වෙන්දේසියේ දී වාහන අලෙවිකිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්ම වූ මුදලක් උපයාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

රජයේ වියදම් කපාහැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවිකිරීම සිදු කළ බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top