සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල යම් දිනක පැමිණ තමාව අත්අඩංගුවට ගනු ඇතැයි තමා සිතූ බව ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ඉෂාරා සෙව්වන්දි පවසා තිබේ.
මාස 7ක් නේපාලයේ සිරව සිටීම තමාට එපා වී තිබුණ බවත් එසේ සිටිනවාට වඩා ලංකාවට පැමිණීම හොඳයැයි සිතු නමුත් පොලිසිය අසුවන නිසා නේපාලයේම රැඳී සිටි බවත් ඇය කියා ඇත.
නේපාලයේ බක්ත්පූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් නම් ප්‍රදේශය සුඛෝපභෝගී නිවසක ඇය සැඟව සිට තිබුණි. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් සිල්වා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නේපාලයේදී කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙම සැකකාරියට පහසුකම් සැලසූ ජේ.කේ.බායි නමැති අය මුලින් අත්අඩංගුවට ගෙන තිබේ. දිනපතා පුවත්පතක් වාර්තා කර ඇති ආකාරයට සහකාර පොලිස් අධිකාරිවරයා “ආ කෙල්ලේ කොහොමද?“ යනුවෙන් අමතා ඇය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීමේදී ලක්ෂ 50ක අල්ලසක් නිලධාරීන් වෙත ලබා දීමට අපරාධකරුවන් උත්සාහ කර ඇතැයි පැවසේ.
සංජීව ඝාතනයෙන් පසු පොලිසියෙන් කට්ටි පැනීමේදී ඇය මිද්දෙණිය ප්‍රදේශයේද දින කිහිපයක් ගත කර ඇති අතර මේ සඳහා සම්පත් මනම්පේරිගේ සහයක් ලැබුණිද යන්න විමර්ශන පැවැත්වේ.
මෙම සැකකාරිය සහ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වෙත සිය ප්‍රශංසාව පළ කිරීමට ජනපතිවරයා දුරකතන ඇමතුමක් දුන් බවද දැනගන්නට ඇත.