/ Nov 13, 2025

විපක්ෂ මන්ත්‍රීන්ගේ ආරක්ෂක ඉල්ලීම් ගැන පොලිස්පති තීරණයක් ගනී!

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්විය.

එහිදී කථානායකවරයා සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර එහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීම‍ට කටයුතු කරන ලෙසයි ඔවුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණද ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කොට ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂ‍ාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් කථානායකවරයා සඳහන් කර තිබුණි.

එහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ජාවට සහභාගී වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබුණේ තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වාගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසයි.

තර්ජන පිළිබඳ තක්සේරු වාර්තාවක් පසුව ලබාගැනීමට කටයුතු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එහිදී මන්ත්‍රීවරු සඳහන් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top