අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාර දුන්නේය.
නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම වූ අතර අනතුරුව විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතම මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය.
එමෙන්ම විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදී.
රමිත රඹුක්වැල්ල සිය පියා අමාත්‍යධූරය දැරූ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබුණි.
2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම මත අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබේ.





