/ Jun 15, 2025

“සොබ්රේ ලා මාර්චා” – 97 විය සැපිරූ සදාකාලික තරුණ විප්ලවාවාදියා!

Information about Ernesto Che Guevara in general

අර්නස්ටෝ චේ ගුවේරාට අද දිනට වයස අවුරුදු 97 කි. ඔහු උපන්නේ වසර 1928 ජුනි 14 වැනි දිනයි. හෙතෙම 1967 ඔක්තෝබර් 9 වන දින, බොලිවියාවේදී ඝාතනය කෙරිණ.
චේගේ ආධ්‍යාත්මයේ හරය පිලිබඳ පරිඥානය එසේ නැත්නම් වැටහීම, විද්‍යාත්මක තීක්ෂණ බුද්ධිය, මානව දයාව සහ පීඩකයින්ට එරෙහිව පීඩිතයින්ගේ ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ නොසැලෙන කැමැත්ත පිළිබඳ පැහැදිලි සහ අධිෂ්ඨානශීලී බව කෙටියෙන් හෝ සාරාංශ ගත කීරීමට අප ප්‍රයත්න දැරිය යුතුය.

විප්ලවවාදියෙකු බවට පත් වූ මෙම ආර්ජන්ටිනාවේ වෛද්‍යවරයාගේ ජීවිතය ගැන කම්පා නොවී සිටීම දුෂ්කර ය. විප්ලවවාදී චින්තනයේ ඔහුට ගුරුහරුකම් ලැබුණේ වෙනිසියුලාවේ ලාදුරු රෝගීන්ගෙන් සහ බොලිවියාවේ ටින් පතල් කම්කරුවන් සමඟ වූ අත්දැකීම්වලින්, ආර්ජන්ටිනාවේ විප්ලවවාදීන් අතර ගැවසීම සහ 1954 ගෝතමාලාවේ අරගලයේ ඔහුගේ අත්දැකීම් මගිනි. යථාර්ථය ඔහුව රැඩිකල් කළේය. ඔහු පැවසූ පරිදි, කාල් මාක්ස් පිළිබඳ ඔහුගේ සඳහන වන ‘සැන් කාලෝස්ගේ මූලධර්මය’ ඔහුට බලපෑ බව ඔහු පසුව සිහිපත් කළේය.

1953 වසරේ මෙක්සිකෝවේදී, ගුවේරාට පේරුහී ‘ඇමරිකානුවන්ගේ ජනප්‍රිය විප්ලවවාදී සන්ධානය’ (APRA) හි විප්ලවවාදියෙකු වන හිල්ඩා ගඩේයා මුණගැසුණි. ගඩේයා ගුවේරාට මාක්ස්වාදී න්‍යාය සහ එවකට ඇමරිකානු තීරය ගිනිසිළු නැගූ රැඩිකල් ධාරාවන් පිළිබඳව අධ්‍යාපනය ලබා දුන්නේය. ඔවුන් 1954 සැප්තැම්බර් මාසයේදී ගෝතමාලාවට සංක්‍රමණය වූ අතර, එය එවකට ඇමරිකා එක්සත් ජනපද රජයට සහ එරට පදනම් කරගත් සමාගම්වලට එරෙහිව ප්‍රධාන අරගලයක කේන්ද්‍රය විය. ජැකොබෝ අර්බෙන්ස්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රීයව තේරී පත් වූ රජයක්, මූලික ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සාහ කළ අතර එය එක්සත් පලතුරු සමාගම සමග ගැටුමක් විය. ගෝතමාලා පාලනයේදී මෙම සමාගමේ කාර්යභාරය චේ ගුවේරාට පැහැදිලිව පෙනුණි.

චේ තම නැන්දණිය වන බියට්රිස්ට මෙසේ ලිවීය, ‘යුනයිටඩ් පලතුරු සමාගම සතු ඉඩම් හරහා යාමට මට අවස්ථාවක් ලැබුණා, මෙය නැවත වරක් මට මේ ධනවාදී බූවල්ලාගේ නපුරුකම ඒත්තු ගැන්වුවා. මේ ධනවාදී බූවල්ලා විනාශ වන තුරු විවේක නොගන්නා බවට මම පැරණි, කඳුළුපිරි ‘ස්ටාලින්’ සහෝදරයාගේ පින්තූරයක් ඉදිරියේ දිවුරුම් දුන්නා. මම ගෝතමාලාවේ දියුණු වූ සැබෑ විප්ලවවාදියෙකු වන්නෙමි’.

ඇමරිකාව ආර්බෙන්ස්ගේ රජයට එරෙහිව කුමන්ත්‍රණය ආරම්භ කළ විට, චේ වීදි බැස්සේය. එයින් කිසිදු යහපතක් සිදු නොවීය. චේ සහ ගඩේයා මෙක්සිකෝවට පලා ගියහ. ගඩේයාට ස්තූතිවන්ත වන්නට ඔවුන් රාවුල් කැස්ත්‍රෝ සහ අවසානයේ ඔහුගේ සහෝදර ෆිදෙල් හමුවන්නේ එහිදීය. වැඩි කල් නොගොස්ම, චේ කියුබානු විප්ලවය දියත් කිරීම සඳහා කැස්ත්‍රෝ සහ තවත් 79 දෙනෙකු සමඟ “ග්‍රාන්මා” නම් අබලන් බෝට්ටුවකට නැග්ගේය.

ඔවුන්ගේ බෝට්ටුව කියුබාවට පැමිණි විට, හමුදාව විසින් විප්ලවවාදීන් 70 දෙනෙකු මරා දැමීය. දිවි ගලවා ගත් අය රට අභ්‍යන්තරයට දිව ගිය අතර 1958 අවසානයේ දී ඇමරිකානු අනුබල ලත් ඒකාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා පරාජය කළ ගොවි හමුදාව ගොඩනැගීමට දැඩි ධෛර්යයෙන් යුතුව ඉදිරියට ගියහ.

එලෙස 1959 කියුබානු විප්ලවයේ වීරයෙකු වූ චේ, ලෝකයේ අනෙකුත් විප්ලවයන් සාර්ථක නොවන්නේ නම් ඇමරිකානු ප්‍රධාන භූමියෙන් කිලෝමීටර් 140 ක් පමණක් දුරින් පිහිටි කියුබාව අවදානමට ලක්විය හැකි බව විශ්වාස කළේය. වියට්නාමයට එල්ල කරන ලද ප්‍රචණ්ඩකාරී ඇමරිකානු බෝම්බ හෙළීම ගැන ඔහුගේ ප්‍රතිචාරය සමාන විය. “වියට්නාමය ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවේ” ඔහු පැවසීය. “වියට්නාම දෙකක්, තුනක්, බොහෝ ගණනක් නිර්මාණය කිරීම අවශ්‍යයි” කීය.

ධනය ගුවනින් පලායාමෙන් ‘විප්ලවය’ පිළිගනු ලැබීය. බැටිස්ටා, ඩොලර් මිලියන 424 ක කියුබානු මුදල් සංචිත ඇමරිකානු බැංකු වෙත මාරු කළේය. පලා යන කතිපයාධිකාරය සහ ඇමරිකානු සමාගම් ගිනිබත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළහ. තම ධනය පිටතට කාන්දු වීම සමඟ, අරගල කර තිබූ රටකින් ඔවුන්ට හැකි සෑම දෙයක්ම රැගෙන ගියහ. නිල ඇමරිකා එක්සත් ජනපද සම්බාධක ආරම්භ වීමටත් පෙර, ඇමරිකානු සමාගම් සහ බැංකු විප්ලවවාදී රජයේ ගෙල සිර කිරීමට උත්සාහ කළහ. ණය ලබා දුන්නේ නැත.
ඉදිරියේදී ණය ලැබෙන්නේ නැත. රෑ බෝ වූ විප්ලවවාදීන්ගේ රැස්වීමකදී, ඔවුන් අතර ආර්ථික විද්යාඥයෙක් සිටීදැයි ෆිදෙල් කැස්ත්‍රෝ විමසීය. චේ අත එසවීය. ඔහු ආර්ථිකයේ ප්‍රධානියා බවට පත් කෙරිණ. පසුව ෆිදෙල් ඔහුගෙන් මෙහි සුදුසුකම් ගැන විමසීය. චේ පිළිතුරු දුන්නේ, ෆිදෙල් විමසුවේ ‘කොමියුනිස්ට්වාදියෙකු යනු කවුද’ කියා සිතා ගෙන බව හෙතෙම පසුව කීවේය. චේ ජවසම්පන්නව හා අධිෂ්ඨානයෙන් යුතුව තම කාර්යය භාර ගත්තේය. ඔහු මහ බැංකුව නැවත සකස් කර, කාර්මික ප්‍රතිපත්තියක් සකස් කර, කම්කරුවන් සඳහා දිරි දීමනා පිළිබඳ අදහස තම සගයන් සමඟ විවාද කළේය. මේ සියල්ල චේ ගෞරවාන්විතව හා උද්යෝගයෙන් ඉටු කළ මූලික කාර්යයන් විය.

කියුබානු විප්ලවයේ මූලික ප්‍රතිපත්තිය වූයේ, ” සොබ්රේ ලා මාර්චා”, “ක්‍රියාවෙන් ඉගෙන ගන්න” යන්නයි. තරුණ විප්ලවයට කිසිදු කැපකිරීමක් නොතිබූ ඉතා දක්ෂ වෘත්තිකයින් බොහෝ දෙනෙක් රටින් පිටුවහලේදී පලාගිය නිසාවෙන්, චේ සහ තවත් අය නවෝත්පාදනය කළහ. උදාහරණයක් ලෙස වෛද්‍යවරුන් හයදහසෙන් තුන්දහසක් කියුබාව හැර ගියහ. විප්ලවීය යුද්ධයෙන් පැමිණි සටන්කාමීන් රාජ්‍ය කාර්යාලවල හිඩැස් පිරවීම සඳහා සිසුන් හා කම්කරුවන් සමඟ එක් විය. ඔවුන් කළමනාකරණ කුසලතා ගෙන ආවේ නැත. නමුත් ඔවුන්ට උද්යෝගයක් තිබුණි. චේ දේශපාලන අධ්‍යාපනය සඳහා පමණක් නොව කුසලතා පිළිබඳ අධ්‍යාපනය සඳහා ද, නවීන විද්‍යාවේ සහ කළමනාකරණයේ හොඳම දේවලින් උරුම වූ නිශ්චිත කුසලතා පිලිබඳවද අවධාරණය කළේය.

නව විප්ලවවාදී පාලනයට ජනතාවගේ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදු විය. කුසගින්න, නූගත්කම, රෝග සහ අපකීර්තිය වැනි ප්‍රශ්න ඒ අතර ප්‍රධාන විය. මේවා බැරෑරුම් ලෙස ගෙන ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ගෞරවය සමඟ පිළිතුරු නොදෙන්නේ නම් විප්ලවය අඩාල වනු ඇත.

මුදල් හා කර්මාන්ත අමාත්‍යංශයේ දී චේගේ සම්පූර්ණ අවධානය යොමු වූයේ ‘නව මිනිසෙකු’ නිර්මාණය කිරීම සඳහාය. එනම් නව සමාජයක් ගොඩනැගීමට ඵලදායී වනු ඇතැයි යන අදහසින් පිරුණු මිනිසෙකු නිර්මාණය කිරීමයි. ඵලදායිතාවය කසයෙන් හෝ විරැකියාවට සහ කුසගින්නෙන් ඇති වන බියෙන් පැමිණිය යුතු නැත. මෙය ධනවාදයේ දිරිගැන්වීමයි. සමාජවාදය යටතේ ඵලදායිතාව නිදහසේ හැඟීමෙන් සහ සමෘද්ධිමත්, සමානාත්මතාවයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීමේ ස්වේච්ඡා ආශාවෙන් පැමිණෙනු ඇත. සමාජවාදය ගොඩනැගීම සඳහා චේගේ න්‍යාය පත්‍රය පෙළඹවූයේ මෙම නව සදාචාරාත්මක රාමුවයි.

සමාජවාදය ගොඩනැගීම පිළිබඳව ‘මාක්ස්’ බොහෝ පාඩම් ඉතිරි කළේ නැත. චේ සම්බන්ධයෙන් ගත් කල, සෝවියට් සංගමය ‘නව මිනිසෙකු’ නිර්මාණය කිරීමේ හැකියාවෙන් පසුබෑමකට ලක් විය. ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයට, විශේෂයෙන් වටිනාකම පිලිබඳ න්‍යායට සහ ද්‍රව්‍යමය දිරිගැන්වීම් සඳහා අවධාරණය කිරීමට ඕනෑවට වඩා සහන ලබා දී තිබුණි. එවැනි සහන සමාජයට සමාජවාදී පොරොන්දුවෙන් ඈත්වීමට සහ රහසිගතව ධනවාදය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ සලසයි.

බොහෝ ප්‍රසිද්ධ කථාවලදී චේ පැවසුවේ මෙයයි. ස්වේච්ඡා ශ්‍රමය පිළිබඳ අදහස ප්‍රවර්ධනය කළේත්, මෙමගින් සහ නව ආකාරයේ දිරිගැන්වීම්, නව ආකාරයේ මානව හැකියාවන් නිර්මාණය කිරීමට ඔහු අවධාරණය කළේත් එබැවිනි. ධනවාදී කළමනාකරණයේ පෙළපොත් වලින් පාඩම් ඉගෙන ගත යුතු නමුත්, එය ද්‍රව්‍යමය දිරිගැන්වීම් පිළිබඳ පාඩමෙන් නොවේ. එය පසෙකට දැමිය යුතුව තිබුණි. නව සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, එය නව සදාචාරාත්මක ශක්තිය හරහා නිර්මාණය කළ යුතුව තිබුණි.

“ලතින් ඇමරිකාවට අඳුරු දිනයන් ඉදිරියේදී උදාවනු ඇත” 1961 දී චේ ලිවීය. එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේග විප්ලවවාදී ක්‍රියාවලිය අඩපණ කරන තුරු විවේක නොගන්නා බව ඔහු දැන සිටියේය.

“අධිරාජ්‍යවාදයට එරෙහි යුද්ධය දියත් කළ පසු, නොනැවතී සිටීම, රිදෙන තැනට දැඩි ලෙස පහර දීම, විරාමයක් නොමැතිව, කිසි විටෙකත් බිම වැතිර නොසිට, නිරන්තරයෙන් ඉදිරියට යමින්, නිරන්තරයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින්, ජනතාවගේ දැඩි පීඩනයකින් ඕනෑම නව ආක්‍රමණයකට නිරන්තරයෙන් මුහුණ දීම අත්‍යවශ්‍ය වේ” යැයි ඔහු ලිවීය.
ජනතාව අදහස් සහ ආයුධ යන දෙකෙන්ම සන්නද්ධ කළේය. ‘බේ ඔෆ් පිග්ස්’ හි අක්‍රමණය පරාජය කිරීමට ඔවුන්ට හැකි වූයේ ඒ නිසාය. පසුගිය දශක කිහිපය තුළ කියුබාවේ විප්ලවය ආපසු හරවන්නට නොහැකි වූයේ මේ නිසායි.

1962 දී ඇමරිකා එක්සත් ජනපදය මේ පුංචි දිවයිනට එරෙහිව සම්බාධක පැනවීය. එය කියුබාවේ හුස්ම හිර කළේය. 1964 දී උරුගුවේ මාධ්‍යවේදී එඩුවාඩෝ ගැලියානෝ සමඟ චේ කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “සෑම කියුබානුවෙක්ම, රොක්ෆෙලර් වැන්නකු වීමට ප්‍රාර්ථනා කරනවා නම් මම කැමති නැහැ”. ඔහුට අවශ්‍ය වූයේ “මිනිසුන් පිවිතුරු කරන, ආත්මාර්ථකාමිත්වයෙන් ඔබ්බට ගෙන යන, තරඟකාරිත්වයෙන් හා කෑදරකමෙන් ඔවුන් බේරා ගන්නා පද්ධතියක් වන සමාජවාදය ගොඩනැගීමට”යි. “භාණ්ඩාගාරයේ සහ ජනගහණයේ දරිද්‍රතාව නිසා එය දුෂ්කර වූ කාර්යයක් වේ. කෙසේ වෙතත්, කියුබානු ජනතාවගේ අධ්‍යාත්මය ඔවුන්ව ඔවුන්ගේ සම්පත් ගොඩ නගා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය ඉදිරිපත් කිරීමට පෙළැඹවූවා” යි චේ පැවසීය.

“කියුබාව කිසි විටෙකත් සමාජවාදයේ ප්‍රදර්ශනයක් නොවනු ඇත”, චේ ගැලියෝට පැවසීය, “ඒ වෙනුවට ජීවමාන ආදර්ශයක්”. එය පාරාදීසයක් වීමට තරම් දුර වැඩිය. කෙසේ වෙතත්, එයට තමන්ගේම ජනතාව සහ ලෝකය කෙරෙහි ආදරය පැතිරවිය හැකිය. චේට, චේ ගුවේරාට, ‘ආදරය’ යනු සියල්ල වූ අතර, ඔහුගේ ‘සමාජවාදය’ පිළිබඳ අදහසට පිවිසුම එය විය.

බොලිවියාවට යන අතරමගදී ඔහුගේ දරුවන් පස් දෙනාට ලියූ ලිපියක මෙසේ ලිවීය, “ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම කෙනෙකුට එරෙහිව සිදු කරන ලද සියලු අසාධාරණකම් ඔබේ පැවැත්ම තුළ සැමවිටම ගැඹුරින් විඳින්නට හැකිවන්න. මෙය විප්ලවවාදියෙකුට තිබිය හැකි ලස්සනම ගුණාංගයයි”.

තරුණ වියේදී ලතින් ඇමරිකාව පුරා සංචාරය කළ චේට ජාත්‍යන්තරවාදය කෙරෙහි බලවත් කැපවීමක් තිබුණි. ඔහු ජාත්‍යන්තරවාදියෙකි. ආර්ජන්ටිනාවේ පුරවැසියෙකු ලෙස කියුබානු විප්ලවයට සහභාගී වීම ගැන ඔහුට කිසිදු පසුතැවිල්ලක් නොතිබිණි. පසුව ඔහු කොංගෝවට සහ බොලිවියාවට ගොස් එහි විප්ලවවාදී ව්‍යාපාරවලට සහාය වීම මගින් එය පැහැදිලි විය. ලෝකයේ ජීවත්වීම යනු ජාත්‍යන්තරයෙහි හරයෙහි ජීවමානව සිටීමයි. පවුල් සහ ජාතික සීමාවන්ගේ පටු බව, ආරෝපණය කරන ලද අනන්‍යතා, හුස්ම හිර කරන බාධක වලට එරෙහිව සටන් කිරීමයි. චේ ස්වභාවික පුද්ගලයෙකු වීම නිසාම 1959 දී ඊජිප්තුව, සිරියාව, ඉන්දියාව, බුරුමය, ජපානය, ඉන්දුනීසියාව, ලංකාව, පකිස්තානය, යුගෝස්ලාවියාව, සුඩානය සහ මොරොක්කෝව වෙත විප්ලවයේ ප්‍රථම ‘හොඳ හිත මෙහෙයුම’ට යැවීමට හේතුවක් විය.

චේගේ සංචාර අතරතුර, ඔහු ඉන්දියාව, ජපානය, එක්සත් අරාබි ජනරජය (ඊජිප්තුව සහ සිරියාව) සහ යුගෝස්ලාවියාව යන රටවල කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ නීති හොඳින් අධ්‍යයනය කළේය. ඊජිප්තුවේ සහ ඉන්දියාවේ නව රජයන් විසින් පිහිටුවන ලද කෘෂිකාර්මික ආයතන කෙරෙහි ඔහු උනන්දු වූ අතර, මේ ව්‍යාපෘති ද පසුව කියුබාවේ ආරම්භ කළ හැකි බව චේ දුටුවේය.

1955 බැන්ඩුං සමුළුවේ (බැන්ඩුං සමුළුව ආසියානු-අප්‍රිකානු සමුළුව ලෙස හැඳින්විණි) ප්‍රධාන රටවලට සහ 1961 දී බෙල්ග්රේඩ්හි නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ රැස්වීම සූදානම් කරමින් සිටි ප්‍රධාන රටවලට (ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ යුගෝස්ලාවියාව) ඔහුව රැගෙන යාම ද ඒ හා සමානව වැදගත් විය. එබැවින්, තුන්වන ලෝක ව්‍යාපෘතියේ හදවතට ඔහුව යවන ලදී. චේගේ ගමනට ස්තූතිවන්ත වන්නට, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය (NAM) පිහිටුවීමේදී කියුබාව මූලික කාර්යභාරයක් ඉටු කළේය.

ගාසා තීරය ඇතුළුව තුන්වන ලෝකය පුරාවට චේ ගුවේරා හමුදා ඇඳුමින් සැරසී ඇවිද ගියේය. මෙය සිදු වූයේ ඔහු පැමිණියේ කියුබානු ආර්ථික කොමිසමේ ප්‍රධානියා ලෙස යන්න නොතකා ය.

දිල්ලියේදී, චේ ගුවේරා අශෝක හෝටලයේ නවාතැන් ගත් අතර, එහිදී සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ කේ.පී. භානුමතී සමඟ රේඩියෝ සාකච්ඡාවක් කළේය. සමාජවාදී ආර්ථිකයක් පිළිබඳ ඔහුගේ අදහස් ගැන ඇය ඔහුගෙන් විමසුවාය.

ඔහුගේ මොන්ටේකාලෝ සුරුට්ටුවෙන් අළු ගසමින්, චේ පිළිතුරු දුන්නේ, “ඌන සංවර්ධිත ලෝකයේ අපට අධිරාජ්‍යවාදී වියගහෙන්, රූකඩ ආණ්ඩුවලින් සහ ඔවුන්ගේ හමුදාවන්ගෙන් සහ ඌන සංවර්ධිත රටවල සූරාකෑමේ ක්‍රමයෙන් නිදහස් වීමට සිදුවේ. අපි ඌන සංවර්ධිත හෝ විකෘති සංවර්ධනයක් සහිත යටත් විජිත හෝ යැපෙන රටවල් වෙමු. නිදහස සඳහා අරගලයක් සඳහා වාස්තවික කොන්දේසි නිර්මාණය වන්නේ ජනතාවගේ කුසගින්නෙනි. විදේශීය බලවතෙකුගේ වහලෙකු නොවී සමාජවාදී මිනිසෙකු සහ සමාජවාදී ආර්ථිකයක් සාක්ෂාත් කරගත හැකිය. දූෂණයෙන් තොර ව්‍යුහයක ප්‍රතිලාභ භුක්ති විඳීමට කිසිදු ඌන සංවර්ධිත ලෝකයකට කිසිදා නොහැකි වනු ඇත. ඌන සංවර්ධිත අපි එකට එක්විය යුතුය. දිගු අරගලයකින් පසු ඉන්දියාව නිදහස දිනා ඇත. නේරු කෙරෙහි මට මහත් ප්‍රශංසාවක් ඇත. ඔහු ආර්ථික නිදහස ගෙන එනු ඇති අතර ඉන්දියාව බලවත් රාජ්‍යයක් බවට පත් කරනු ඇත. සියලු මිනිසුන් මානව පුද්ගල අභිලාශයන්ගේ සාමූහික අධ්‍යාත්මයක් බෙදා ගන්නා සමාජයක් අප ගොඩනඟා ගත යුතුය. නව යටත් විජිතවාදය මුලින්ම දකුණු ඇමරිකාවේ වර්ධනය වූ අතර අප්‍රිකාවේ සහ ආසියාවේ වේගයෙන් පමුණුවා ඇත. වියට්නාමයේ සහ කොරියාවේ සිදුවන්නේ කුමක්දැයි බලන්න. ආසියාවේ සමහර රටවල කෲරත්වය වඩාත් සියුම් ස්වරූපයෙන් පවතී. තුන්වන ලෝකයේ හෝ ඌන සංවර්ධිත ලෝකයේ අපි, යටත් විජිතවාදීන්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ කූටෝපායන් ජය ගැනීමට එක්සත් විය යුතුය”

චේ දුටු දෙයින් අන්ධ වූයේ නැත. දිල්ලියේ පිලානාහිදී, ඔහු තම සටහන් පොතේ රටේ සමාජ අසමානතාවය ගැන “ස්වල්ප දෙනෙකුට බොහෝ දේ ඇත, බොහෝ දෙනෙකුට කිසිවක් නැත” යනුවෙන් ලිවීය.

1959 දී කියුබාවේ විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝ බලයට පත්වීමෙන් පසු කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පළමු රටවලින් එකක් වූයේ ශ්‍රී ලංකාවයි. කියුබාවේ නායකයා ලෙස දශක පහක් පුරා පැවති පාලන සමයේදී කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවද, ඔහුගේ විශේෂ දූත අර්නස්ටෝ ‘චේ’ ගුවේරාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර කල් පවතින සම්බන්ධතාවයකට මඟ සැකසීය.

1959 අගෝස්තු මාසයේදී චේ ගුවේරාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වූයේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් ටික කලකට පසුව, සීනි වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ය. මෙහි සිටියදී, හොරණෙහි ‘යහල කැලේ’ රබර් වතුයායට ගොස්, රටේ රබර් වගා ක්‍රම පිළිබඳවද චේ සොයා බැලීය. එහිදී ඔහු 1959 අගෝස්තු 7 වන දින ‘මහෝගනී’ ගසක් රෝපණය කළ අතර, එය තවමත් කැස්ත්‍රෝ සමඟ කියුබානු විප්ලවයට නායකත්වය දුන් ආර්ජන්ටිනාවේ කැපීපෙනෙන විප්ලවවාදියාගේ ලංකා සංචාරයට සාක්ෂියක් ලෙස පවතී. චේට ආදරය කරන ලාංකිකයන් අදත් එහිදී ඔහු සමරනු ලබයි.

රහසින්ම කියුබාවෙන් නික්මෙන චේ, බොලිවියාවේ විප්ලවීය ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බැව් දැනගත් ඇමරිකා රහස් ඔත්තු සේවය, ඇමරිකානු එක්සත් ජනපද රජයේ උපදෙස් යටතේ, බොලිවියානු හමුදාව විසින් අර්නස්ටෝ ‘චේ’ ගුවේරාගේ නායකත්වයෙන් යුත් හුදකලා ගරිල්ලා බලඇණිය කොටු කළේය. දකුණු බොලිවියාවේ, නිසරු සහ පාලු හිගුවේරා ගම්මානයේ පාසල් නිවසකට චේව ගෙන එන ලදී. සොල්දාදුවෙකු වූ මාරියෝ ටෙරාන් සලාසාර්ට ඝාතන කාර්යය පැවරුණි. චේ, මේ වෙව්ලන මිනිසා දෙස බැලුවේය. ‘සන්සුන් වී හොඳ ඉලක්කයක් ගන්න’ චේ ඔහුට කීවේය. ‘ඔබ මිනිහෙක් මරන්නයි යන්නේ’ චේ පැවසීය. චේ ඝාතනය කෙරුණි;

දශක පහකට වඩා පෙර, චේ ඝාතනය මුල් වූවන්ට සිදු වූ දේ බලමු. බොලිවියානු ඒකාධිපති රෙනේ බැරියන්ටෝස් වසරකට පසු ඔහුගේ හෙලිකොප්ටරය ගිනිගෙන පුපුරා යාමෙන් මිය ගියේය. චේට එරෙහි මෙහෙයුමට නායකත්වය දුන් ජෙනරාල් ජොකුයින් සෙන්ටෙනෝ අනායා පැරිසියේ වීදියකදී වෙඩි තබා ඝාතනය කරන ලදී. චේ අල්ලා ගැනීමට රේන්ජර්ස් භටයින්ට නායකත්වය දුන් මේජර් ඇන්ඩ්රෙස් සෙලිච් චොප්, හියුගෝ බැන්සර්ගේ බොලිවියානු ඒකාධිපතිත්වය විසින් මරා දමන ලදී. බොලිවියාවේ ජාතික විමුක්ති හමුදාවේ සාමාජිකාවක් වූ ජර්මන් ජාතික මොනිකා අර්ට්ල් අතින්, චේගේ මරණය ලොවට ප්‍රකාශ කළ, කර්නල් රොබර්ටෝ ක්වින්ටනිලා පෙරෙස් හැම්බර්ග්හී, බොලිවියානු තානාපති කාර්යාලය තුලදීම ඝාතනය කෙරිණ. ආදරයෙන් පිරුණු සාමකාමී ජීවිත ගත කිරීමට ඔවුන්ට ඉඩ ලැබුණේ නැත.

චේට වෙඩි තැබූ සොල්දාදුවා වූ මාරියෝ ටෙරාන් සලාසාර් සැඟවී සිටියේය. වසර ගණනාවකට පසු, 2006 දී, කියුබානු වෛද්‍ය කණ්ඩායම චේගේ ඝාතකයාගේ ඇසේ තිබූ සුද ඉවත් කිරීම සඳහා කිසිදු ගාස්තුවක් නොමැතිව සැත්කමක් කළේය. චේගේ උරුමය පළිගැනීමක් නොවේ. එය වෛද්‍යවරයෙකුගේ මනුෂ්‍යත්වය කෙරෙහි ඇති ආදරය ලෙස පවතී.

චේ ඝාතනය වී දින නවයකට පසු ඔක්තෝබර් 18 වන දින, ෆිදෙල් කැස්ත්රෝ හවානාහිදී හැඟීම්බර කතාවක් පැවැත්වීය. චේගේ මරණය බරපතළ පහරක් බව ඔහු පැවසීය. “විප්ලවවාදීන් මෙම බරපතළ පසුබෑමට මුහුණ දිය යුත්තේ කෙසේද? ඔවුන් මෙම පාඩුවට මුහුණ දිය යුත්තේ කෙසේද?” ෆිදෙල් විප්ලවවාදීන්ට ලියූ ඔහුගේ ලිපියේ,
“චේගේ සටන් හඬ එක් සවන්දෙන්නකුගේ සවනට පමණක් නොව, මිලියන ගණනක් සවන්දෙන්නන්ගේ සවණත වෙත ළඟා වනු ඇත. ඔහුගේ ආදර්ශයෙන් ආභාෂය ලැබූ එක් අතක් නොව, මිලියන ගණනක් දෑත් ආයුධ අතට ගැනීමට දිගු කරනු ඇත. නව නායකයින් බිහිවනු ඇත. සවන්දෙන්නන්ගේ සවනට සහ දෑත් දිගු කළ ජනතාවට, සියලු විප්ලවවලදී නායකයින් බිහිවී ඇති ආකාරයටම, නායකයින් අවශ්‍ය වනු ඇත. චේගේ අසාමාන්‍ය අත්දැකීම් සහ දැවැන්ත හැකියාවෙන් යුත් නායකයෙකු එම අත්වලට නොලැබෙනු ඇත. එම නායකයින් අරගල ක්‍රියාවලියේදී නිර්මාණය වනු ඇත. ඉක්මනින් හෝ ප්‍රමාදව එම නායකයින් බිහි වන්නේ ආයුධ අතට ගැනීමට දිගු කරන මිලියන ගණනක් දෑත්වලිනි” යයි සටහන් කළේ ය.
“චේගේ මරණය බලාපොරොත්තු සුන්වීමක් ඇති නොකරනු ඇති බවත්, එය අන් අයව වඩාත් උතුම් අරමුණු සඳහා අරගලයට එක්වීමට පොළඹවනු ඇති බවත්, එනම් වඩා හොඳ ලෝකයක්, සමානාත්මතාවය සහ යුක්තියෙන් පිරුණු ලෝකයක් නිර්මාණය කිරීම” බව තම බලාපොරොත්තුව බව ෆිදෙල් ලිවීය.

වත්මන් ලාංකීය දේශපාලන සන්දර්භය දෙසට යොමුවීමේදී, චේගේ ජීවිතයේ කෙටි එහෙත් විප්ලවවාදියෙකුගේ පරිපූර්ණ ගමන ගැඹුරින් විමසීමෙන් බොහෝ මග පෙන්වීම් උකහාගත හැකියැයි සිතේ.

“සුළුතර සූරාකන්නන්ගේ වෛරයට පාත්‍ර වූ සහ බහුතර පීඩිතයන්ගේ ගෞරවයට පාත්‍ර වූ මේ මානවහිතවාදියාගේ අදහස් ජීවමානයි!

චේ අනාගතයයි!”

ජයන්ත වැලිවිට

(දේශපාලනආර්ථික විමර්ශකයෙකිඔහු මොස්කව්හී පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේආර්ථික විද්‍යාව පිලිබඳ පාශ්චාත් උපාධිධාරියෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top