/ Feb 11, 2026

වීරවංශ පාඩමක් ඉගෙන ගන්නේ නලින්දගෙන්ද?

තමාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගෙන් සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් කෝටි 100 බැගින් වන්දි ලබා දෙන ලෙස දන්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය නීතිඥයින්ගේ මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේදී මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ 2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස විසින්, විද්‍යුත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍යයන් කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම එන්තරවාසිය යොමුකර ඇත.

ස්වර්ණවාහිනී නාලිකාව විසින් 2026.02.07 දින ප.ව.6.50ට විකාශය වූ ප්‍රවෘත්ති විකාශයේ “Story of the Day” නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක්ද ලබා දී ප්‍රචාරය කර තිබේ.

විමල් වීරවංස විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බවත්, එය තමාගේ කිර්ති නාමය හා මහජන විශ්වාසයට ද්වේශසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිළිව පෙනී යන බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එම එන්තරවාසියේ දක්වා ඇත.

එම ප්‍රකාශය අදාළ රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමේදී එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ තමන්ගෙන් කිසිදු විමසීමක් හෝ නොකළ බවද අමාත්‍යවරයා පවසයි.

එපමණක් නොව එම ප්‍රකාශය අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ ද ප්‍රචාරය වෙමින් පැවතුණි.

ඒ අනුව, ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්ති නාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100 බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංස සහ Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත අමාත්‍යවරයා සිය එන්තරවාසිය යොමුකර ඇත.

එන්තරවාසිය පරිදි කටයුතු සිදුනොවන්නේ නම් ඉදිරි නීතිමය කටයුතුවලට එළඹෙන බවද දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top