”වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනය එරෙහිව මහා ජන හඬ” යන තේමාවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් අද (27) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
ඒ, ඔවුන් විසින් එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත මහජන රැළිය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්කිරීම වෙනුවෙනි.
සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ යන දේශපාලන කණ්ඩායම් වල එකතුවෙන් මහා ජන හඬ ගොඩනගා තිබේ.
කෙසේවෙතත් අද පැවති මාධ්‍ය හමුවට සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ පැමිණ සිටියේ නැත.
මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පක්ෂ පාට භේද නොසලකා එකතු වී සිටින බවයි.
”මේ රටේ ඕනෑම වෙලාවක අවසාන තැන හැටියට සාධාරණයක් ඉෂ්ට කරගන්න තියෙන්නේ අධිකරණය විතරයි. අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා යම් යම් තැන් තැන් වල පොඩි පොඩි මත හැදිලා තියෙනවා අධිකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නකොට මේ කීප දෙනෙක් එකතුවෙලා, පරිබාහිරව ඉන්න කීපදෙනෙක් ගැන කතා කරනවා. ඒක ඇත්තනම් අපි කොහාටද යන්නේ. අපිට යම්කිසි අවශ්‍යතාවක් වුනහම අපි කොහොමද එතනින් සහනයක් බලාපොරොත්තු වෙන්නේ. මේවට උත්තර ඕනේ. මේවට උත්තර හොයන්න තමයි අපි පක්ෂ පාට භේදයකින් තොරව අපි සියලු දෙනා අපේ ප්‍රතිපත්ති තුළ ඉඳගෙන දේශපාලනය කරනවා වගේම අපි සියලු දෙනාම අද එකමුතුවක් හැටියට එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අධිපතිත්වය ආරක්ෂා කරන්න, ජීවත් වීමේ අයිතිය ජනතාවට තහවුරු කරන්න මේ හැමදෙයකටම අද අපි එකතුවෙලා ඉන්නේ.”
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ආණ්ඩුවට වසරක් ගතවෙන විට ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට නොකරන තැනට ආණ්ඩුව අසමත් වී සිටින බවයි.
ඒ අනුව ජනතාව අන්ත අසරණ වී සිටින බවත්, අනෙක් පසින් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කර ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
අහිමි කර ඇති ප්‍රජාතන්ත්‍රවාදය දින ගැනීමටත්, ජනතාවට දුන් පොරොන්දු ඉටුකරගැනීමටත් විවිධ දේශපාලන පක්ෂ එකතුවී ජනතාවගේ හඬ මහා හඬක් ලෙස ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි එහිදී අමරවීර මහතා තවදුරටත් පැවසුවේ.
රාජ්‍යයක බියකරුභාවය සහ විශ්වාසය නැතිකම යන කාරණා දෙකම ක්‍රමානුකුලව එළියට එමින් තිබෙන බව එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
සමඟි ජන බලවේගය මාධ්‍ය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් එහිදී ප්‍රශ්න කරන ලද අතර ඊට පිළිතුරු දෙමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ අවශ්‍ය මොහොතේදී එකතු වී වැඩ කරනු ඇති බවයි.





