/ Mar 13, 2025

මාධ්‍යවේදිනියගේ සැමියාගේ අබිරහස් මරණය: විමර්ශන හොඳ නැතැයි දෙහිවල පොලිසියට දෝස!

senior journalist husband's death

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන ශ්‍රියානි විජේසිංහගේ සැමියා වන 60 හැවිරිදි අගොස්තීනුගේ සමරජීව නැමැත්තාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඒ අනුව මාර්තු මස 18 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

සිය සැමියා ජනවාරී මස පළමුවනදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 2 වෙනිදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී සොයා ගත් බව මාධ්‍යවේදිනිය විසින් පවසා ඇත්තේ.

අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වෙනිදා උදෑසන මියගොස් ඇති අතර මියගිය පුද්ගලයා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

එම දුරකථන ඇමතුමට අනුව රාත්‍රී 11ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තුවාල සහිත පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු නොකර, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීම සැකයට තුඩු දෙන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවඳ එම නීතීඥවරයා තවදුරටත් කරුණු දක්වා ඇති බව සඳහන්.

නිවසේ හිමිකරු ඇතුළු නිවැසියන්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව දෙහිවල පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් ලෙසට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබීම සහ මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලීසියෙන් සාධාරණ විමර්ශනයක් සිදුකිරීම බලාපොරොත්තු විය නොහැකි වීම යන කරුණු මත මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

අදාළ නඩුව නැවත මාර්තු මස 18 වන දින කැඳවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top